කටුවාපිටියේ සිට කොච්චිකඩේ දේවස්ථානයට විරෝධතා පා ගමනක් (වීඩියෝ)

කටුවාපිටියේ සිට කොච්චිකඩේ දේවස්ථානයට විරෝධතා පා ගමනක් (වීඩියෝ)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලීම මෙන්ම පවතින ආර්ථීක අර්බුදවලට විරෝධය පළ කරමින් මීගමුව නගරයේ විරෝධතාවයක් පැවත්වුණා.

කටුවාපිටිය දේවස්ථානය ඇතුළු දේවස්ථාන කිහිපයක දේව මෙහෙයන්වලින් අනතුරුවයි මෙලෙස ජනතාව මීගමුව නගරයට රැස්වී විරෝධතාවයේ නිරත වුණේ.

ඔවුන් අද (09) කොච්චිගඩේ දේවස්ථානය වෙත විරෝධතා පා ගමනක් ද ආරම්භ කළා.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට ලක්වී මියගිය අය සිහි කිරීමට ඔවුන්ගේ ඥාතීන් පිරිසක් අනතුරුව කටුවාපිටිය සුසාන භූමියට පැමිණ සිටියා.

ඔවුන් ඉල්ලා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරයට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

මෙම අවස්ථාවට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ද එක්ව සිටියා.

අනතුරුව එම පිරිස කටුවාපිටිය දේවස්ථානයේ පැවැති දේව මෙහෙයට සහභාගි වුණා.

දේව මෙහෙයෙන් අනතුරුව විරෝධතා පා ගමනක් ආරම්භ කළ පිරිස මීගමුව නගරයට පැමිණියා.

විරෝධතා පා ගමනේ නිරත ජනතාව මීගමුව දුම්රිය හරස් මාර්ගය ආසන්න ප්‍රදේශයේ රැස්ව උද්ඝෝෂණයකද නිරත වුණා.

මෙම අවස්ථාවට අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන්ද සහභාගි වුණා.

එහිදී කාදිනල් හිමියන් රටේ සෑම පුරවැසියෙක්ගෙන්ම ඉල්ලා සිටියේ මෙම ක්‍රමය වෙනස් කරන්න එකතුවන ලෙසයි.

විරෝධතාවයේ නිරත ජනතාව පසුව කොච්චිකඩේ දේවස්ථානය බලා විරෝධතා පා ගමනක් ආරම්භ කළා.

Share This