
කණ්ඩලම වැව් පරිශ්‍රයේ වෙඩි වැදුනු තවත් වන අලියකුට ඇමති අනින් කඩිනම් ප්‍රතිකාර
පොළොන්නරුව වනජීවී කලාපයේ කලුන්දෑව වනජීවී ඒකකයට අයත් කණ්ඩලම වැව් පරිශ්‍රයේ මීට මාස තුනක පමණ පෙර සිට වෙඩි වැදී රෝගී තත්වයේ පසුවන හස්ථියකු නිරීක්ෂණය කිරීමටත්, කඩිනමින් අවශ්‍ය පහසුකම් සලසා දීමටත් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහත්වරු දැනුම් දී තිබෙනවා.
ඒ එම අමාත්‍යවරුන් දෙපළ අද(6) දින පස්වරුවේ හස්ථියා රෝගී වී සිටින ප්‍රදේශයේ නිරීක්ෂණයකට සහභාගීවීමෙන් අනතුරුවයි.
ඇතාගේ දකුණු පාදයට වෙඩි වැදීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ මෙම හස්ථියා සඳහා ප්‍රතිකාර කිරීමේ කටයුතු ගිරිතලේ වනජීවී කලාපයේ පශු වෛද්‍ය කළිඳු මහතා ඇතුළු පිරිස සිදු කරනු ලැබූ අතර ඇතාට අවශ්‍ය ආහාර පාන ලබාදීම හා අනෙකුත් පහසුකම් කලුන්දෑව වනජීවී ඒකකයේ නිළධාරීන් විසින් සිදු කර තිබෙනවා.
ඒ අනුව අද දිනයේ දී පෙර පැවති තත්වයට වඩා රෝගී වූ හස්තියාට තම ඉදිරි පාදය තබමින් යම් සුළු චලනයක් සිදු කිරීමට හැකි වූ අතර එහි දී පරිසර අමාත්‍යතුමා විසින් ගිරිතලේ වනජීවී කලාපයේ පශු වෛද්‍යවරුන්ට සහ නිළධාරීන්ට ප්‍රතිකාර කටයුතු කඩිනම් කිරීම සඳහා සියලු පහසුකම් සලසන ලෙසත් ස්කෑන් පරීක්ෂණ, රුධිර සාම්පල් පරීක්ෂණ කඩිනම් කිරීමට ද ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට වනජීවී දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
පරිසර අමාත්‍යවරු ගිරිතලේ වනජීවී කලාපයේ පශුවෛද්‍ය නිළධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ ඉදිරි දවස් කිහිපය තුළ අදාළ එක්ස්රේ පරීක්ෂණ හා ස්කෑන් පරීක්ෂණ මෙන්ම රුධිර සාම්පල් පරීක්ෂා කිරීමෙන් පසු ඒ සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සහ සැත්කම් කටයුතු කිරීමටයි.
නිරන්තරයෙන් වන අලීන්ට සිදු වන වෙඩි වැදීම් ඉහළ ගොස් ඇති බැවින් හසිදියේ රෝගී තත්වයන්ට පත්වන අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී රෝහලක් ස්ථාපිත කිරීමටත් , ජංගම වෛද්‍ය ඒකකයක් පිහිටුවීමටත් ඉදිරියේ දී කටයුතු කරන බව එම අවස්ථාවේ පරිසර අමාත්‍යවරයා පවසා සිටියා.