කළුතර කඩු සෙල්ලම් දැම්ම කල්ලියක් අත්අඩංගුවට

කළුතර කඩු සෙල්ලම් දැම්ම කල්ලියක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ වී මෝටර් රථවලින් ගොස් පුද්ගල පහරදීම් සිදුකළ කණ්ඩායමක් තියුණු ආයුධ සමඟ විශේෂ කාර්ය බළකාය හා කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය දා කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ දූව පන්සල පාර නිවසකට තියුණු ආයුධ සමඟ ඇතුළු වී එම නිවසේ දේපළවලට හානි කරමින් එම නිවසේ පුද්ගලයින් බිය ගන්වා පහරදීම් සිදුකළ කළුතර සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙක්.

පොලීසිය පවසන්නේ මෙම පහරදීම සම්බන්ධයෙන් අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් අදාල පහරදීම සිදුකොට ඇති බවටයි.

විශේෂ කාර්ය බළකාය මගින් පුද්ගලයින් තුන්දෙනෙකු කළුතර දුව පන්සල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන පසුව කළුතර අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.

පොලීසිය පැවසුවේ අනතුරුව රැඳවුම් නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී මෙම පහරදීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බවයි.

මෙම පහරදීම සඳහා භාවිතා කළ කුලී පදනම මත ලබාගත් සුඛෝභෝගී මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවටත් සැකකරුවන් කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 ,20,24 වයස්වල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම පහරදීම සඳහා භාවිත කළ තියුණු ආයුධ පහක්ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

Share This