ක්‍රීඩා සංගම්වල තනතුරු දැරිය හැකි කාලය සීමාකෙරේ

ක්‍රීඩා සංගම්වල තනතුරු දැරිය හැකි කාලය සීමාකෙරේ

ක්‍රීඩා සංගම්වල තනතුරු දැරිය හැකි කාලය සීමා කෙරෙන නියෝගවලට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමව තිබෙනවා.

මෙම රෙගුලාසි නව ක්‍රීඩා සංස්කෘතියක ආරම්භයක් – කාරක සභාවේ සභාපති ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ පවසයි

මීළග පාර්ලි‍මේන්තු රැස්වීම් සතියේ විවාදයට ගැනීමට නියමිත ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනත යටතේ නිකුත් කරන ලද, අංක 2437/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගවලට තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ එම කාරක සභාව 2025.08.07 වැනිදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරු ද මෙම රැස්වීමට සහභාගී වූහ.

මීට පෙර ක්‍රීඩා පනත යටතේ සකස් කර තිබූ රෙගුලාසිවල පැවති අඩුලුහුඬුකම් සහ ගැටලුකාරී තත්ත්වයන් මගහරවා ගනිමින් නව නියෝග සකස් කිරීම සිදුකළ බවත් පොදුවේ සියලු ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩාවේ දියුණුව අරමුණු කරගනිමින් එය සිදුකළ බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව ක්‍රීඩා සම්මේලනයක සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු දැරිය හැකි උපරිම කාලය වසර 8 කට සීමා කිරීම මෙමගින් සිදුවන බව ඒ මහතා පැවසීය. එසේම වසර දෙකකට වරක් නිලවරණ පැවැත්විය යුතු බවටත් ප්‍රතිපාදන ඇතුළත් කොට ඇති අතර ජාත්‍යන්තර සම්මේලනවල සම්මතයන් සැලකිල්ලට ගනිමින් මෙම කාලය තීරණය කර තිබේ. ක්‍රීඩා සම්මේලනවල දීර්ඝ කාලීනව තනතුරු දරමින් සිදුකරන අකටයුතුකම් පිළිබඳව මීට පෙර විවිධාකාර චෝදනා එල්ලවූ අතර එම තත්ත්වය නැවැත්වීමට මෙය හේතුවන බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද කාන්තාවන් සම්බන්ධවන ක්‍රීඩා සඳහා අවම වශයෙන් කාන්තාවන් දෙදෙනෙකු සඳහාවත් එකී සම්මේලනවල අවස්ථාව ලබාදීමටත් මෙම නියෝග හරහා විධිවිධාන සලසා තිබේ. නව ක්‍රීඩා සංස්කෘතියක් මේ හරහා ඇතිවන බවත් ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ සාධනීය ප්‍රතිචාර ‍මෙම නව නියෝග සම්බන්ධයෙන් හිමිවූ බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතුවලට අදාළව පවතින ගැටලු මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් කාරක සභාවේ අවධානයට යොමු කළහ. ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදීම ඒ අනුව සිදුවිය.

කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ද තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

 

Share This