කාබුල් ජනතාව අර්බුද රැසක

කාබුල් ජනතාව අර්බුද රැසක

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර වැසියන් විදුලි අර්බුද හේතුවෙන් දැඩිව පීඩාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ශීත කාලගුණය හමුවේ විදුලිය නොමැති වීම පිළිබඳ අගනුවර වැසියන් රටේ පාලනයට දැඩි විරෝධය පළ කරන බවයි.

කාබුල් නුවරට විදුලි සැපයුම ඇත්තේ දිනකට පැය හතරක පමණ කාලයක් සඳහා පමණක් බවයි වාර්තා වන්නේ.

එය සිය දෛනික කටයුතු සදහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ජනතාව පවසනවා.

මේ හේතුවෙන් කාබූල් නුවර ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

විදුලි අර්බුදය කාබූල් කර්මාන්තපුරයේ කර්මාන්තශාලාවල මෙහෙයුම් කටයුතු සඳහා බාධා එල්ල කර ඇති අතර ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන විදුලි සැපයුම්කරුවෙකු ලෙස සැලකෙන්නේ උස්බෙකිස්ථානයයි.

උස්බෙකිස්තානයේ සිට විදුලිය සැපයෙන සම්ප්‍රේෂණ මාර්ගවල දෝෂ හට ගෙන ඇති බවත්, ඒවා යළි සම්බන්ධ කරන තෙක් කාබූල් නුවරට විදුලිය සැපයීම අර්බුදයක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊට අමතරව ටජිකිස්තානය සහ ඉරානය යන රටවලින් ද ඇෆ්ගනිස්තානය විදුලිය සපයා ගනු ලබනවා.

තලේබාන් පාලනය හමුවේ පවතින ආර්ථික හා මානුෂීය අර්බුදය එම රටවලින් සිදු කළ විදුලි සැපයුමට බාධා එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.

සන්නද්ධ කණ්ඩායම් විසින් විදුලිය සැපයෙන විදුලි කණු කඩා දැමීම හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ විදුලි සැපයුම පවතින්නේ බරපතල අර්බුදයක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This