කාම්බෝජ සහ තායිලන්ත දේශ සීමා සටන් අදත් ඇවිලේ

කාම්බෝජ සහ තායිලන්ත දේශ සීමා සටන් අදත් ඇවිලේ

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, අග්නිදිග ආසියානු රටවල් දෙකක් වන තායිලන්තය සහ කාම්බෝජය අතර සටන් විරාම සාකච්ඡා සඳහා එකඟ වී ඇති බවත්, අඛණ්ඩ සටන් වොෂින්ටනය සමඟ ඔවුන්ගේ වෙළඳ ගිවිසුම් අනතුරේ හෙළන බවත් තර්ජනය කිරීමෙන් පැය කිහිපයකට පසු, සිව්වන දිනටත් දෙරට අතර මතභේදාත්මක දේශසීමාව හරහා වෙඩි හුවමාරු සිදුවූ බව වාර්තා වුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජනපදය සහ චීනය සටන් නතර කරන ලෙස ඉල්ලා සිටියද, පසුගිය බ්‍රහස්පතින්දා සිට ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් 200,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව තායි සහ කාම්බෝජ නිලධාරීන් පවසන්නේ.

දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටින අතර පවතින සටන් සඳහා දොස් පවරමින් වෙඩි හුවමාරු සිදුවූ බවයි අද දිනයේත වාර්තා වුණේ.

මැලේසියාවේ විදේශ අමාත්‍යවරයා උපුටා දක්වමින් මැලේසියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියට අනුව පැවසුවේ, උත්සන්න වන ගැටුම පිළිබද සාකච්ඡා කිරීම සඳහා දෙරටේ නායකයින් හෙට මැලේසියාවේදී හමුවීමට නියමිත බවයි.

ට්‍රම්ප්ගේ නිවේදනයෙන් පැය කිහිපයකට පසු, තායිලන්ත රජය අද කියා සිටියේ හමුදා මෙහෙයුම් නැවැත්වීමට “සූදානම් නැති” බවයි.

කාම්බෝජය සුරින් පළාතේ, දේශසීමාවේ සහ තවත් ප්‍රදේශ කිහිපයක සිවිල් ප්‍රදේශවලට බර කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම දිගටම කරගෙන යන බවට ද චෝදනා කළා.

කාම්බෝජය “මානව හිමිකම් සහ මානුෂීය නීතියේ මූලික මූලධර්ම නැවත නැවතත් උල්ලංඝනය කරමින් සිටින අතර,” “සතුරුකම් නැවැත්වීමට කිසිදු හැකියාවක් නැත” යනුවෙන් තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

Share This