කැරලිකරුවන්ට පහර දීමට පාකිස්ථානයට ඩ්‍රෝන යානාවල සහය

කැරලිකරුවන්ට පහර දීමට පාකිස්ථානයට ඩ්‍රෝන යානාවල සහය

පාකිස්ථාන හමුදාව විසින් බලෝකිස්තානයේ ක්‍රියාත්මක කැරලිකරුවන්ට එරෙහිව ප්‍රහාර දියත් කිරීම සඳහා චීනයේ නිෂ්පාදිත CH-4B වර්ගයේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගන්නා බවට තොරතුරු වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් මාධ්‍යන්ට අනුව පසුගිය වසර ගණනාවක් පුරාවට බලෝකිස්තාන කැරලිකරුවන්ට එරෙහිව ප්‍රහාර දියත් කිරීම සදහා පාකිස්ථාන හමුදාව ප්‍රහාරක ජෙට් යානා සහ හෙලිකොප්ටර් යානා යොදා ගනු ලැබුවද, නියමුවන් රහිත ගුවන් යානා යොදා ගැනීම සම්බන්ධයෙන් වාර්තා වූයේ නැහැ.

ඒ අනුව පාකිස්ථානය කැරලිකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට ඩ්‍රෝන භාවිත කිරීම නවතම අනාවරණයක් වන අතර එලෙස ඩ්‍රෝන භාවිතයට ගනු ලබන අවස්ථා ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

මෙම මාසයේ ආරම්භය සමග පාකිස්ථානය බෝලාන් කලාපයේ ස්ථානගතව සිටින බලෝකිස්තාන කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් මෙහෙයුමක් දියත් කරනු ලැබූ අතර ඊට නියමුවන් රහිත ඩ්‍රෝන යානා, ප්‍රහාරක ජෙට් යානා, ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ කමාන්ඩෝ සෙබළුන් යොදා ගනු ලැබ තිබෙනවා.

මේ අතර පාකිස්ථාන හමුදාව විසින් බලෝකිස්තානයේ, බෝලාන් කලාපයේ කඳු ආශ්‍රිතව ප්‍රහාරක ජෙට් යානා යොදවා ඇතැයි ද වාර්තා වනවා.

මේ අතර පාකිස්ථානයට චීනය සහ තුර්කිය විසින් විවිධ මාදිලියේ ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීන – පාකිස්ථාන ආර්ථික සහයෝගිතා ගිවිසුමට අනුව චීනය විසින් පාකිස්ථානයේ ග්වදාර් හි ඉදිකරමින් පවතින වරායේ ආරක්ෂාව සඳහා හමුදාව යොදවනු ලැබ තිබෙනවා.

චීනය විසින් උපක්‍රමික ස්ථාන ලෙස නඩත්තු කිරීමේ කටයුතු ද චීන සමාගම්වලට පවරා තිබෙනවා.

Share This