කියුබානු රජයෙන් මෙරට ඩෙංගු මර්දනයට සහාය

කියුබානු රජයෙන් මෙරට ඩෙංගු මර්දනයට සහාය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලේස් ගොරිඩෝ මහතා අතර හමුවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී සිදුවී තිබෙනවා.

එහිදී දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමුවී ඇති බව සඳහන්.

පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳව මෙම සුහද සාකච්ඡාවේදී කියුබානු තානාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිබඳව ප්‍රශංසා කළ මෙරට කියුබානු තානාපතිවරයා, ශ්‍රී ලංකාව සමඟ පවතින සහයෝගීතාවය වැඩි දියුණු කිරීමට සූදානමින් සිටින බවයි ප්‍රකාශ කර සිටියේ.

තවද ඩෙංගු මර්දනය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රත්නයන් සඳහා කියුබානු රජය අඛණ්ඩ සහාය ලබාදෙන බවද ජනාධිපතිවරයා හමුවේ එරට තානාපතිවරයා සඳහන් කර සිටියා.

ඩෙංගු උවදුර මර්දනය කිරීමේදී කියුබාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳ මෙහිදී පෙන්වා දුන් තානාපතිවරයා, ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බෙදාහදා ගැනීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බවයි ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර සිටියේ.

Share This