කෘෂි කර්මාන්තය ඉහළ නංවන්න ඩිජිටල් මෙවලම් භාවිතයට ගේට්ස් පදනමේ සහයෝගය (VIDEO)

කෘෂි කර්මාන්තය ඉහළ නංවන්න ඩිජිටල් මෙවලම් භාවිතයට ගේට්ස් පදනමේ සහයෝගය (VIDEO)

කෘෂිකර්මාන්තය නගා සිටුවීමට නව ඩිජිටල් මෙවලම් භාවිතය සම්බන්ධයෙන් ගේට්ස් පදනමේ සහයෝගය ලබා දිය හැකි බව එම පදනමේ ගෝලීය සංවර්ධන සභාපති ආචාර්ය ක්‍රිස් එලායස් මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවීමෙන් අනතුරුවයි.

අමෙරිකානු ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන සභාපති ආචාර්ය ක්‍රිස් එලායස් මහතා හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

මෙහිදී අදහස් දක්වමින් ආචාර්ය ක්‍රිස් එලායස් මහතා සඳහන් කළේ තම පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය බවත්, මෙම විශේෂ හමුව සඳහා පාර්ලිමේන්තුව වෙත ආරාධනා කිරීම පිළිබඳ තමන් සතුටට පත් වන බවයි.

ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ගේට්ස් පදනම ඉතා කැමත්තෙන් පසුවන බව පැවසූ ආචාර්ය ක්‍රිස් එලායස් මෙරට දරුවන්ගේ සහ කාන්තාවන්ගේ පෝෂණ අවශ්‍යතා ඉහළ නැංවීම, කෘෂිකර්මාන්තය නගා සිටුවීමට නව ඩිජිටල් මෙවලම් භාවිතය සම්බන්ධයෙන් ගේට්ස් පදනමේ සහයෝගය ලබාදීමේ හැකියාව පිළිබඳවද කරුණු අනාවරණය කළා.

එහිදී අග්‍රාමාත්‍යවරිය ගේට්ස් පදනම විසින් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල පෝෂණ අවශ්‍යතා වැඩිදියුණු කිරීම වෙනුවෙන්, මාතෘ හා ළමා පෝෂණය ප්‍රවර්ධනය කරමින් මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාව ඉන් මුදවා ගැනීම වෙනුවෙන් සුවිශේෂී අවධානයක් යොමු කරමින් සිදු කරන මෙහෙය විශේෂ ඇගයීමට ලක් කර තිබෙනවා.

Share This