කෙහෙලිය එරෙහි නඩුවේ සාක්ෂි සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහත් නම් කරයි

කෙහෙලිය එරෙහි නඩුවේ සාක්ෂි සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහත් නම් කරයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද අධිචෝදනා ගොනු කළා.

ඒ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ ආනයනයේදී රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීම යන චෝදනා යටතේයි.

මේ අතර අයථා ලෙස වත්කම් ඉපැයීම සම්බන්ධයෙන්ද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඔහුගේ බිරිඳට දියණියන් තිදෙනාට සහ බෑණා ට අද නීතිපතිවරයා අධිචෝදනා ගොනු කළා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඔහුගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී සහ දියණියන් වන අමාලි රඹුක්වැල්ල, නයනිකා රඹුක්වැල්ල, චන්දුලා රඹුක්වැල්ල මෙන්ම බෑණනුවන් වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අයට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළා.

චෝදනා 43ක් යටතේ මෙලෙස අධිචෝදනා ගොනුකර තිබෙනවා.

කොළඹ මහාධිකරණය හමුවේ ඉදිරියේ දී මෙම නඩුව කැඳවීමට නියමිතයි.

නීතිපතිවරයා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේද අධිචෝදනා ගොනු කර ඇත්තේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ස්නායු රෝගීන් සඳහා භාවිත කරන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සිමැබ් නමැති ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන හරහා ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක මුදලක් වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීම යන චෝදනා යටතේ යි.

මෙලෙස අධිචෝදනා ගොනුකිරීම සිදුකෙරුණේ මහාධිකරණ විනිසුරුවන් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

හියුමන් හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොක්සිමැබ් නැමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් ලක්ෂ 1,444ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔවුන් වෙත අධිචෝදනා ගොනු කර තිබෙනවා.

එම අධිචෝදනා පත්‍රයට අනුව නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් 350කට ආසන්න සංඛ්‍යාවක් සහ නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්.

මෙහිදී මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු කැබිනට් ඇමතිවරුන් පිරිසක්ද නම්කර තිබෙනවා.

ඊට හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ යන හිටපු කැබිනට් අමාත්‍යවරුන් ඇතුළත්.

ඊට අමතරව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක්ද නම්කර තිබෙනවා.

එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මත පදනම්ව රුපියල් කෝටි 14.5කට ආසන්න මුදලක් වැයකර ජනතාවට ඖෂධ වශයෙන් ලබා දී ඇත්තේ මරාන්තික බැක්ටීරියා සහිත වතුරත්, ලුණු වතුරත්“ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මියද ඉකුත් 19 වැනිදා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා පත්‍රය චෝදනා 13කින් සමන්විතයි.

අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයෙකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර නමැති අය මෙම නඩුවේ සෙසු සැකකරුවන් ලෙස නම් කර තිබෙනවා.

Share This