කොමිසමින්  කුමන තීන්දුව දුන්නත් මම  පිළිගන්නවා – වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

කොමිසමින් කුමන තීන්දුව දුන්නත් මම පිළිගන්නවා – වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව මගින් ලබාදෙන ඕනෑම තීන්දුවක් තමන් පිළිගන්නා බව තමන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමින් ධුරයේ කටයුතු අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පැවසුවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ කෙසේ වෙතත් කමිටුවෙන් තමන්ට සාධාරණයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

අධිකරණය මඟින් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් මස අග භාගයේ සිට සාක්ෂි විමසීම සඳහා රැස් වුණා.

ඒ අනුව පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂි කැඳවීමේ කටයුතුයි ප්‍රථමයෙන් සිදු කෙරුණේ.

එහිදී වැලිගම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාක්ෂි කැඳවීම සිදුකෙරුණු අතර පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂි කැඳවීම ඉකුත් සිකුරාදා දිනයෙන් අවසන් වුණා.

ඒ අනුව වැලිගම වෙඩිතැබීම සහ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෙසු ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වග උත්තරකාර පාර්ශ්වයේ සාක්ෂි කැඳවීමේ කටයුතු අද සිට ආරම්භ වනවා.

ඒ අනුව ප්‍රථමයෙන් වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන්ගෙන් කමිටුව හමුවේ පළමුව ප්‍රශ්න කිරීම ආරම්භ කළ අතර වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංජිව වීරවික්‍රම මහතා ප්‍රශ්න කිරීම ආරම්භ කළා.

සංජිව වීරවික්‍රම – ඔබ වැඩබලන පොලිස්පති ධුරය හොබවන සමයේ යුක්තිය මෙහෙයුම ආරම්භ කළාද..?එහි අරමුණ කුමක්ද…?

දේශබන්දු තෙන්නකෝන් මහතා – ඔව් ස්වාමීනි, එහි අරමුණ වුණේ මෙරට තුළ මත් ද්‍රව්‍ය සහ අපරාධ කල්ලි මර්දනය කිරීම මං මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කරන්න අවශ්‍ය පියවර ගත්තා.

ඩුබායි ඇතුළු විවිධ රටවල සිටින ජාවරම්කරුවන් විසින් තමයි මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන්නේ.

ඒ අනුව ඔවුන්ට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කරමින් ඇතැම් අය උදර්පන නීතියට අනුව ලංකාවට ගෙනල්ලා ඔවුන්ට එරෙහිව විමර්ශනත් සිදු කළා.

සංජිව වීරවික්‍රම – ඔබ යුක්තිය මෙහෙයුම ආරම්භ කළේ ඔබේ තනි මතයට ද..? නැත්නම් ඒ සඳහා කාගේ හෝ අනුදැනුමක් තිබුනද..?

දේශබන්දු තෙන්නකෝන් – ස්වාමීනී මා වැඩ බලන පොලිස්පතිවරයා බවට පත්කරන්න කලින් දවසේ, එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මට එන්න කිව්ව ජනාධිපති ලේකම් කාර්යාලයට.

මම ගියා. මම විතරක් නෙමෙයි එවකට විෂය භාර අමාත්‍යවරයත් සිටියා.

ජනාධිපතිවරය මගෙන් ඇහුවා ඔබට පොලිස්පතිධූරය ලැබුණොත් මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කරන්න වැඩපිළිවෙළක් තියෙනවද කියලා.

ජනාධිපතිතුමනි මං ගාව ලොකු සැලැස්මක් තියෙනවා.

ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විතරක් නෙවෙයි විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව ද අවශ්‍ය බව මා එහිදී ජනාධිපතිවරයා හමුවේ සඳහන් කළා.

ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසට උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව මම යුක්තිය මෙහෙයුම ආරම්භ කළා.

සංජිව වීරවික්‍රම – ඔබ නදුන් චින්තක හෙවත් හරක් කටා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළාද,,?

දේශබන්දු තෙන්නකෝන් – ඔහු ස්වාමීනී..හරක් කටා කියන්නේ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කළේ සාමාජිකයෙක්.

ඔහුට ලොකු ජාලයක් තියෙනවා, ඔහු විදෙස් රටවල ඉඳන් තමයි අපරාධ මෙහෙය වූයේ.

ඔහු මැඩගස්කරේදි අත්අඩංගුවට ගත්තට පස්සේ මෙරටට රැගෙන ඒම ඉතාම අපහසු කාර්යයක් වුණා.

නමුත් ඔහු කෙසේ හෝ ලංකාවට රැගෙන ආවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා ඔහුගෙන් ප්‍රශ්න කිරීම සිදු කළා.

ඔහු ඒ අතරතුරදී ඉතාම සූක්ෂම විදිහට CID නිලධාරින් අල්ලගෙන, CID නිලධාරීන් සිහිසුන් කරලා පැනලා යන්න උත්සාහ කළා.

ඔහු ඒ තරම්ම දරුණු ගණයේ අපරාධකරුවෙක්.

සංජිව වීරවික්‍රම – ඔහු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කළාද…?

දේශබන්දු තෙන්නකෝන් – ඔව් මම ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශන සිදුකළා.

මං පොලිස්පති උනාට පස්සේ ඔහු ගැන සොයා බලන්න ඔහුගේ දත්ත වාර්තා කැඳවන්න කටයුතු කළා.

ඒ අනුව ඔහු සතුව තිබූ දුරකථන තුනක් ඔස්සේ විමර්ශන සිදුකිරීමට කටයුතු කළා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමේ දී දුරකථන දත්තවලින් නාමාවලි එකසිය හතළිස් නවයක් සොයා ගැනීමට හැකියාව ලැබුණා.

මම ඒ අනුව, කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා මහතාට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා.

සංජිව වීරවික්‍රම – ඒ අනුව ද වැලිගම ප්‍රදේශයේ මෙහෙයුමකට ගියේ?

දේශබන්දු තෙන්නකෝන් – එහෙමයි ස්වාමීනි, ඒකට අදාළ කාරණාවකට තමයි, ඒකත් යුක්තිය මෙහෙයුමට අදාළ කාරණාවක්.

ප්‍රීතිපද්මන් සූරසේන – මහත්මයා… ඔබ ඒ මෙහෙයුම්වලට ගිය නිලධාරීන් සම්බන්ධයෙන් දැනුවත් ද..?

දේශබන්දු තෙන්නකෝන් – ස්වාමීනි මම ඒ මෙහෙයුමට ගිය එක් එක් නිලධාරින් සම්බන්ධයෙන් මූලික වශයෙන් දැනුවත් වීමක් නැහැ.

මම අදාළ උපදෙස් දුන්නේ මේ දුරකතන දත්ත වාර්තාවලට අනුව හරක් කටා සමග සම්බන්ධතා පවත්වන සැකකරුවන් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක විතරයි ස්වාමීනි.

ඉන් අනතුරුව තෙන්නකෝන් මහතාගෙන් අදාළ මෙහෙයුම සඳහා නිලධාරින් පිටත් කළ වාහන සම්බන්ධයෙන් සහ ලිපි ලේඛන සටහන් තැබීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් අදාළ කොමිසම ප්‍රශ්න කිරීම සිදුකළා.

අදාළ කමිටුව විසින් එහිදී ප්‍රශ්න කෙරුණු තවත් කාරණාවක් වනුයේ අදාළ වෙඩි තැබීමෙන් පසුව ඇතිවූ සිදුවීම් සහ ඊට අදාළ විමර්ශන පිළිබඳවයි.

ඒ අනුව වෙඩි තැබීමෙන් පසුව තමන්ව දැනට මාතර සහ හම්බන්තොට දිසාව භාර නිශාන්ත සොයිසා මහතා දැනුවත් කළ බවත් තමන් අදාළ නිලධාරීන් බීමතින් සිටියාද යන්න පිළිබඳව ඔහුගෙන් විමසා සිටි බවත් අදාළ කොමිසම හමුවේ පවසා සිටියා.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා විමසා සිටියේ.

මහත්මයා ඇයි ඔබ නිලධාරීන් බීමතින් සිටියාද යනුවෙන් ප්‍රශ්න කළේ…? ඔබට ඒ වගේ දෙයක් පෙනුන ද..?

දේශබන්දු තෙන්නකෝන් – නැහැ ස්වාමීනි, මට සිදුකළ විමර්ශනවලින් සහ ඊට පසුවත් ඔවුන් බීමතින් සිටියා කියලා හෙළි වුණේ නැහැ. නමුත් මට එක පාරටම අහන්න සිදුවුණා මේ වගේ වෙලාවක මට එකපාරටම ඒ වගේ දෙයක් අහන්න සිදුවුණා ස්වාමීනි. නමුත් ඒ වගේ දෙයක් තහවුරු වුනේ නෑ.

ප්‍රීතිපද්මන් සූරසේන – දැන් මේ සිදුවීමෙන් පස්සේ ඔබ කොහොමද මේ සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු සිදු කළේ..? ඔබ විශේෂ ඒකකයට එහෙම විමර්ශන භාරදුන්නේ නැද්ද..?

දේශබන්දු තෙන්නකෝන් – නැහැ ස්වාමීනි, මම විශේෂ ඒකකයකට ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන භාර දීමට කටයුතු කළේ නැහැ. අදාළ පොලිස් බල ප්‍රදේශයේ පොලිසිය විසින් සිදුකළ විමර්ශන ප්‍රමාණවත් බවට මට හැඟී ගියා.

ඒ විතරක් නෙවෙයි ස්වාමීනි ආරක්ෂක කවුන්සලේදි පවා වැලිගම සිද්ධි සම්බන්ධයෙන් කතා කළා.

ඒකෙදි මම අදාළ සිද්ධිය ගැන ඉදිරිපත් කිරීම් කළා. එම ආරක්ෂක කවුන්සිලය සඳහා සියළුම රාජ්‍ය බුද්ධි ප්‍රධානීන් පවා පැමිණෙනවා.

එහිදී කිසිඳු අවස්ථාවක කිව්වේ නෑ වැලිගම සිද්ධියේ යම් දුර්වලතාවයන් තියෙනවා කියලා.

සංජිව වීරවික්‍රම – වැලිගම පොලිසියේ ජංගම සංචාරක නිලධාරින් අතින් යම් විනය විරෝධී කටයුත්තක් වෙලා තියෙනවද..?

දේශබන්දු තෙන්නකෝන් – එහෙම එකක් වෙලා නෑ ස්වාමීනී..

ප්‍රීතිපද්මන් සූරසේන – ඔබ මේකෙ මොන වගේ දෙයක්ද දකින්නේ..

දේශබන්දු තෙන්නකෝන් – ස්වාමීනී මගේ පෞද්ගලික අදහස නම් දෙපාර්ශවයටම ඉවසීමෙන් කටයුතු කරන්න තිබුණා.

ප්‍රීතිපද්මන් සූරසේන – ඔබ වැලිගම w15 හෝටලේ හිමිකරු සමඟ පුද්ගලික තරහක් තිබුණද..? ඔහුව හඳුනනව ද..?

දේශබන්දු තෙන්නකෝන් – නැහැ ස්වාමීනි, මම කිසිම අයුරකින් ඔහුව හඳුනන්නේ නෑ. මට පුද්ගලික තරහක් තිබුණෙත් නෑ..

යම්කිසි ගැටළුවක් තියෙනවා නම් ඔහුගෙන් අහන්න මායි හඳුනනවාද, ඔහු මායි අතර වෛරයක් තියෙනවද කියලා.. මම එහෙම ඉල්ලීමක් කරනවා

සංජිව වීරවික්‍රම – ඔබට මෙම කොමිසම හමුවේ අවසාන වශයෙන් කියන්න දෙයක් තියෙනව ද..?

දේශබන්දු තෙන්නකෝන් – මං හිතනවා මට සාධාරණයක් වෙයි කියලා. පොලිස් ඉතිහාසයේ පළමු වතාවට තමයි මේ කොමිසම මේ වගේ සිද්ධියක් විමර්ශනයට භාජනය කරන්නේ. කොමිසමින් කුමන තීන්දුව දුන්නත් මම පිළිගන්නවා.

Share This