කොවිඩ් එන්නත ගැන ගැබිණි මව්වරුන්ට ලැබෙන පණිවිඩය

කොවිඩ් එන්නත ගැන ගැබිණි මව්වරුන්ට ලැබෙන පණිවිඩය

කොරෝනා වෛරසයේ 3 වන රැල්ල වන විට ගර්භණී මව්වරුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් ගර්භණී මව්වරුන් 700 දෙනෙකු පමණ මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කර සිටින්නේ “අපි දැක්කා 3 වන රැල්ලේදී ගොඩක් ගර්භණී මව්වරුන් ආසාදිත තත්ත්වයට පත්වුණා.

අද තත්ත්වය බැලුවොත් ගර්භණී මව්වරුන් දැනට 700ක් පමණ අපේ රෝහල්වල ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන් ඉන්නවා. මේක පොඩි සංඛ්‍යාවක් නෙවේ. මේ මව්වරුන්ට අවශ්‍ය සේවාව, සංරක්ෂණය අපි ලබා දෙමින් පවතිනවා. ඒ වගේ ම ගර්භණී මව්වරුන් 19 දෙනෙක් අද වෙනකොට ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා කොරෝනා ආසාදනය හින්දා.”

තව ද මේ වන විට දැඩි සත්කාර ඒකකවල ද ප්‍රතිකාර ලබන ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ගේ සංඛ්‍යාවන් ඉහළ යමින් පවතින බවත් ඇය ⁣සඳහන් කර සිටිනවා

ගර්භණී කාන්තාවන්ට කොරෝනා වෛරසය ආසාදනය වූ විට ඇති විය හැකි සංකූලතා ද ඉහළ මට්ටමක පවතින බැවින් වඩා ඉක්මනින් එන්නත් ලබා ගන්නා ලෙස ඇය ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා .

“ගොඩක් සංකූලතාවන්ට ගර්භණී මව භාජනය වෙනවා කොරෝනා ආසාදනය හින්දා.

මේ අවස්ථාවේදී අපි දකිනවා සංකූලතාවන් සෑදිලා රෝහල්ගත වෙලා ICUවල සිටින මව්වරුන් සංඛ්‍යාවත් වැඩිවෙමින් තියෙනවා.
මේ මව්වරුන්ගේ අතර තවත් මව් මරණ සිදුවෙන්න පුළුවන්.

ඒක හින්දා මේක වළක්වාගන්න එන්නත් ලබාගන්න පුළුවන්.

ඉතින් මං ඉල්ලා සිටිනවා සෞඛ්‍ය අමාත්‍යංශය මගිනුත් ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා ගර්භණී මව්වරුන්ට සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලින්, රෝහල්වලින් මේ එන්නත් ලබා ගැනීමට කටයුතු කරන්න.

මොකද මේ මාසේ අවසන් වෙනකොට අපිට පුළුවන් නම් මව්වරුන්ව එන්නත්කරණය කරලා ආසාදනය වීම වළක්වාගන්න, රෝගයේ සංකූලතා වළක්වාගන්න.”

මෙම මාසය වන විට ⁣ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන් එන්නත්කරණයට ලක් කළහොත් ඔවුන් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට සහ සංකූලතාවලින් වළක්වාගන්නට හැකි වන බව ඇය සඳහන් කර සිටිනවා

“ගර්භණී මව්වරු ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රතිශක්තිකරණ වැඩසටහන ආරම්භ කළ බවත් අපි දන්නවා.

මේ ගර්භණී මව්වරුන් අතර ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමේ අඩුපාඩුවක් අපි දකිනවා දත්ත දිහා බලනකොට. සියලු ම ගර්භණී මව්වරුන්ට පුළුවන් මේ එන්නත ලබා ගන්න.

සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක ම එන්නත් ලබාදීම සිදු කෙරෙනවා.

පූර්ව ප්‍රසව සායනවලත් එන්නත ලබා දෙනවා. එහෙම නැත්තං MOH කාර්යාලයේ තියෙනවා මාධ්‍ය සායනයක්. ඒවාවල මේ එන්නත්කරණය කරන්න කියලා අපි දැනුවත් කරලා තිබුණේ.

ඒ සායනවලින් සහ තමන්ගේ ප්‍රදේශයේ එන්නත්කරණය වෙනවා නම් ඒ අවස්ථාවට හරි සහභාගි වෙලා එන්නත ලබා ගන්න කියලා අපි ඉල්ලනවා.”

කෙසේ නමුත්, පවතින සංඛ්‍යා ලේඛනයකට අනුව මෙරට දෙලක්ෂයක් පමණ ගර්භණී මව්වරුන් සිටින බවත් ඉන් මේ වන විට කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගෙන ඇත්තේ ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන් 30,000ක් පමණ වන බවත් විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා

Share This