කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 18 කට පනවා තිබූ අතුරු තහනම ඉවතට

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 18 කට පනවා තිබූ අතුරු තහනම ඉවතට

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18 කට එළඹෙන මැයි මස 6 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝග ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (11) නියම කර තිබෙනවා

ඒ අනුව අදාළ පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කර තිබූ පෙස්සම් අද නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ මෝසමක් මත අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි

අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු කැඳවනු ලැබුවා

එහිදී වග උත්තරකාර තේරීම් භාර නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වලට අදාළව වග උත්තරකරුවන් විරෝධතා ඉදිරිපත් නොකරන බව සඳහන් කළා.

මෙම නාමයෝජනා සම්බන්ධයෙන් වග උත්තරකරුවන් නීත්‍යානුකූලව කටයුතු කර තිබෙන බවත් කෙසේ නමුදු මේ සම්බන්ධයෙන් අදිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ අදාල ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා යළි භාර ගන්නා ලෙස අදාල තේරීම්ර භාර නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාල නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගනු ලැබූ තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කළා.

ඉන් අනතුරුව එසේ ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස දන්වමින් අධිකරණය විසින් තවත් රිට් ආඥාවක්ද තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කෙරුණා.

එම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව උඩපළාත, පාත දුම්බර, පන්විල, අකුරණ, හාරිස්පත්තුව, හඟුරන්කෙත , කුලියාපිටිය ඇතුළු ප්‍රාදේශීය සභා ගණනාවක මැතිවරණ පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝග ඉවත් කිරීමට නියම කෙරුණා.

Share This