
ගම්පහ රෝහලේ සිද්ධියක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් බස්නාහිර පළාතේ රෝහල්වල වර්ජනයක
බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක පරිපූරක වෛද්‍ය සේවාවට අයත් සියලුම වෘත්තිකයන් අද (19) උදෑසන 8.00 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමට තීරණය කළ බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.
මීට හේතු වූයේ ගම්පහ දිස්ත්‍රික් රෝහලේ අධ්යක්ෂවරයා පරිපූරක වෛද්‍ය වෘත්තීන්ට අයත් නිලධාරීනට තම අත්සන් පොතේ අත්සන් යෙදීම නොකරන ලෙස උපදෙස් දී ලිපියක් නිකුත් කිරීම බව ඔවුන් පෙන්වා දෙනවා.
ඒ අනුව පරිපූරක වෛද්‍ය සේවාවේ සියලුම නිලධාරීන් ගම්පහ රෝහලේ සේවා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළ බව එම සංගමය සදහන් කළා.
කෙසේ නමුත් මේ පිළිබදව ගම්පහ දිස්ත්‍රික් රෝහලේ අධ්යක්ෂවරයා සමග සාකච්ඡා කරමින් සිටින බව ද පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පැවසුවා.
එම සංගමය පෙන්වා දෙන්නේ ඔහු මෙතෙක් ගැටලුව විසදීමට කිසිදු පියවරක් ගෙන නැති බවයි.
එම ඒකාබද්ධ බල මණ්ඩලය මෙම තීරණය ගනු ලැබුවේ බරපතළ විෂමතාවයන් සහිතව සහ දැඩි විරෝධතා මධ්‍යයේ සකස් කළ “ස්ථාන මාරු නියෝග 2024” ක්‍රියාත්මක කිරීමට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය නියෝග කිරීමත් සමගයි.
මෙම ස්ථාන මාරු ක්‍රියාවලිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ අදාල නිලධාරීන් සමග වසරකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා සිදු කළත් එම ගැටලුව විසඳීමට අදාල කිසිදු බලධාරියෙක් මේ වන තුරු කටයුතු කර නොමැති බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය චෝදනා කරන්නේ.
අදාළ සිදුකළ සාකච්ඡා වලදී මෙම ස්ථාන මාරු ක්රියාවලියෙහි බරපතල ගැටලු පවතින බව අදාළ පාර්ශවයන් පිළිගත්තද එම වැරදි නිවැරදි කිරීමට කිසිදු පාර්ශ්වයක් මේ වනතුරුත් කටයුතු කර නොමැති බව ඔවුන් පවසනවා.
මෙම ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කළහොත් පැය 24 පුරා රෝහල්වල සිදු කරන සේවා කටයුතු පවත්වා ගැනීමට නොහැකි වන අතර කාර්ය මණ්ඩලය සහ රෝගීන් ඉන් දැඩි අපහසුතාවයට පත්වන බවද පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් අදාළ සියලු පාර්ශ්වයන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
මෙම වර්ජන ක්‍රියාමාර්ගයට විකිරණ තාක්ෂණවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, වෘත්තියේ චිකිත්සක නිලධාරීන්, කතන චිකිත්සක නිලධාරීන්, ඖෂධවේදීන් ඇතුළු වෘත්තික කණ්ඩායම් 07 ක් සම්බන්ධ වන අතර වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් එම සියලු වෘත්තිකයන් විසින් සිදුකරන විකිරණ පරීක්ෂණ , CT Scan පරීක්ෂණ, සියලූ රසායනාගාර පරීක්ෂණ සේවා, වෘත්තීය චිකිත්සක සේවා ඇතුලු සියලු සේවාවන් බිඳවැටීම සිදුවනවා.