ග්‍රේටා තුන්බර්ග් රැගත් ගාසා ආධාර නෞකාව ඊශ්‍රායලය පැහැර ගනී
ගාසා ආධාර නැවක් ඊශ්‍රායලය පැහැර

ග්‍රේටා තුන්බර්ග් රැගත් ගාසා ආධාර නෞකාව ඊශ්‍රායලය පැහැර ගනී

 

ඊශ්‍රායල නාවික අවහිරයක් නොතකා ගාසා තීරයට මානුෂීය ආධාර ගෙන ඒමට උත්සාහ කළ යාත්‍රාවක් ඊශ්‍රායල හමුදා විසින් අල්ලා ගත් බව එහි ක්‍රියාකාරීහු පවසති.

දේශගුණික ක්‍රියාකාරිනියක් වන ග්‍රේටා තුන්බර්ග් සහ ප්‍රංශ නීති සම්පාදිකාවක් ද නෞකාවේ සිටි 12 දෙනා අතර සිටින අතර, ඔවුන් “පැහැරගැනීමට” ලක්ව ඇති  බව තුන්බර්ග් පවසයි.

ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය එය “එක් ට්‍රක් රථයකටත් වඩා අඩු ආධාර ප්‍රමාණයක් ” රැගෙන යන “සෙල්ෆි යාත්‍රාවක්” ලෙස නම් කර තිබේ.

එරට ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ නෞකාව ඊශ්‍රායලයේ අෂ්ඩෝඩ් වරායට යමින් සිටින බවත්, එහිදී ක්‍රියාකාරීන්ට හමාස් සංවිධානයේ ඔක්තෝබර් 7 ප්‍රහාරවල වීඩියෝවක් පෙන්වනු ඇති බවත්ය.

පලස්තීන විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඇති අතර, එක්සත් ජාතීන්ගේ නිලධාරියෙකු ගාසා තීරයට ආධාර ගෙන ඒම සඳහා “එකට යාත්‍රා කිරීමට” තවත් නැව් ඉල්ලා තිබේ.

Share This