ගැඹුරු මුහුදේ දී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක්  ඇදගෙන ඒමට නාවික හමුදා සහාය

ගැඹුරු මුහුදේ දී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ඇදගෙන ඒමට නාවික හමුදා සහාය

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධිවරයින් හය දෙනෙක් සමඟ එම බහුදින ධිවර යාත්‍රාව නිරුපද්‍රිතව කොඩ්බේ ධීවර වරාය වෙත ඇදගෙන ඒමට අද(10) නාවික හමුදාව කටයතු කළා.

ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 54 ක් පමණ දුරින් මෙම බහුදින ධිවර යාත්‍රාව ආපදාවට පත් වී ඇති බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී එම බහුදින ධීවර යාත්‍රාව තුළට මුහුදු ජලය කාන්දු වීමෙන් ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම යාත්‍රාව ආපදාවට පත්ව තිබෙනවා.

නාවික හමුදා රණධිර නෞකාව මඟින් ආපදාවට පත් එම බහුදින ධීවර යාත්‍රාව සහ ධීවරයින් හයදෙනා සමඟ අද (10) මෙලෙස නිරුපද්‍රිතව ත්‍රිකුණාමලය, කොඩ්බේ ධීවර වරාය වෙත ඇදගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ – සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් කලාපීය සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සමඟ සම්බන්ධීකරණය වෙමින්, මුහුදේදී ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරන බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This