ගීසාහි පිරමිඩයක්  තුළින්  සොයාගත් අළුත්ම දේ මෙන්න

ගීසාහි පිරමිඩයක් තුළින් සොයාගත් අළුත්ම දේ මෙන්න

ඊජිප්තුවේ පුරාවිද්‍යාඥයින් විසින් කයිරෝවෙන් පිටත ගීසා හි පිරමිඩයක් තුළ මුද්‍රා තැබූ කුටියක් සොයාගෙන තිබෙනවා.

මෙම කුටිය වසර 4500ක් පමණ පැරණි ගීසාහි කුෆූ පිරමීඩයේ උතුරු පැත්තෙන් නවීන ස්කෑන් තාක්ෂණය භාවිතයෙන් සොයාගෙන තිබෙනවා. දිග මීටර් 9ක් සහ පළල මීටර් 2ක් වන අතර කුටිය පිරමීඩයේ ප්‍රධාන දොරටුවට ඉහළින් පිහිටා ඇති බවයි පුරාවිද්‍යාඥයින් පවසන්නේ.

එරට පුරාවිද්‍යාඥයින් පවසන්නේ පිටතින් ඇතුළු විය නොහැකි මෙම කුටිය නිර්මාණය කිරීමේ අරමුණ කුමක්දැයි සොයාගැනීමට තවමත් නොහැකි වූ බවයි.

2017 වසරේදීද මෙම කූෆු පිරමිඩය තුළම පුරාවිද්‍යාඥයින් විසින් මීටර් 30ක් පමණ වූ කුටියක් සොයාගෙන තිබෙනවා.

ඊජිප්තු පුරාවිද්‍යාඥ සාහි හවාස් සහ එරට සංචාරක අමාත්‍ය අහමඩ් අයිසා විසින් පිරමීඩයෙන් පිටත පැවති විවෘත කිරීමේ උත්සවයකදී මෙම සොයාගැනීම නිවේදනය කර තිබෙනවා. පිරමීඩ තුළ තවමත් ගවේෂණය නොකළ කොටස් බැලීම සඳහා 2015 වර්ෂයේ ආරම්භ කළ ජාත්‍යන්තර වැඩසටහනක් වන ස්කෑන් පිරමිඩ ව්‍යාපෘතියේ සහයෙන් මෙම කුටිය සොයාගත් බවයි පුරාවිද්‍යාඥයින් සඳහන් කරන්නේ.

මියුනිච් හි තාක්ෂණික විශ්ව විද්‍යාලයේ විනාශකාරී නොවන පරීක්ෂණ පිළිබඳ මහාචාර්ය සහ ව්‍යාපෘතියේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන ක්‍රිස්ටියන් ග්‍රෝස් පවසන්නේ අති ධ්වනිය මිනුම් සහ බිම විනිවිද යන රේඩාර් ඇතුළු විවිධ ස්කෑනිං ශිල්පීය ක්‍රම මෙම කුටිය සොයාගැනීම සඳහා භාවිතා කර ඇති බවයි. මෙම ශිල්පීය ක්‍රම පිරමීඩය තුළ තවදුරටත් සොයාගැනීම් වලට භාවිතා කිරීමට බලාපොරොත්තු වන බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර පිරමිඩයේ අවසාන කුටියේ විශාල හුණුගල් දෙකක් ඇති බවත්, ඒවාට පිටුපසින් සහ කුටියට පහළින් ඇත්තේ කුමක්ද යන්න සොයාගැනීමට අවශ්‍ය බවයි මහාචාර්ය ග්‍රෝස් පවසන්නේ.

ක්‍රිස්තු පූර්ව 2509 සිට 2483 දක්වා පාලනය කළ හතරවන රාජවංශයේ පාරාවෝ රජුගේ නමින් කුෆු පිරමීඩය නම් කර තිබෙනවා. . – කුෆූ පිරමිඩය ගීසා සංකීර්ණයේ මහා පිරමිඩ සෑදෙන පිරමිඩ තුනෙන් එකක් වන අතර ඊජිප්තු පිරමිඩ යනු පුරාණ ලෝකයේ පුදුම හතෙන් අද දක්වා ඉතිරිව ඇති සහ රැකගත යුතු ලෝක පුදුමයක් බවයි පුරාවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

 

 

 

 

Share This