ගුරු හා විදුහල්පති මාරුවීම් තුලනය කිරීම කඩිනම් කරන්න අග්‍රාමාත්‍යවරිය උපදේශක කාරක සභාවට දන්වයි

ගුරු හා විදුහල්පති මාරුවීම් තුලනය කිරීම කඩිනම් කරන්න අග්‍රාමාත්‍යවරිය උපදේශක කාරක සභාවට දන්වයි

ගුරු හා විදුහල්පති මාරුවීම් තුලනය කිරීම කඩිනම් කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස්අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසන්නේ මෙම ගැටලුව පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මාරුවීම් ප්‍රතික්ෂේප කිරීම දිගු කලක් තිස්සේ පැවති පුරුද්දක් නිසා, රාජ්‍ය සේවයේ මාරුවීම්වලට අනුගත නොවන එකම අංශය එය බවයි.

එවැනි මාරුවීම්වලට අනුගත නොවන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව ද කාරක සභාවේ දී සාකච්ඡා වී තිබෙනවා.

අග්‍රාමාත්‍යතුමිය මේ අදහස් පළ කළේ ඇගේ සභාපතිත්වයෙන් යුත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා (26) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත්ත කිරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව ද මෙම රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වී තිබෙනවා.

ඒ අනුව, මෙම කාරක සභාවේ දී තීරණය වී ඇත්තේ ලබන අධ්‍යයන වර්ෂයේ සිට, සියලුම විෂයයන් සඳහා කෝටා ක්‍රමයක් මත පදනම්ව මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරෙන අතර , කුසලතා මත පදනම්ව දිස්ත්‍රික් කෝටා ක්‍රමයක් මඟින් සියලුම විෂයයන් සඳහා ආබාධ සහිත සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාදීමටයි.

මෙම අමාත්‍යාංශයීය උපදේශකකාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටු වල ප්‍රගතිය ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

විවිධ දිස්ත්‍රික්වල අධ්‍යාපනයට අදාළ විවිධ වැදගත් කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Share This