චීන ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දියාවට

චීන ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දියාවට

චීන ආරක්ෂක අමාත්‍ය Li Shangfu ඉන්දියාවේ පැවැත්වෙන ආරක්ෂක සමුළුවකට සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අද (27) සහ හෙට ඉන්දියාවේ දිල්ලි අගනුවර පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීමට චීන ආරක්ෂක අමාත්‍යවරයා සහභාගී වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ .

2020 වසරේදී දෙරටේම හමුදා අතර ඇතිවූ ගැටුමකින් පසු චීන ආරක්ෂක අමාත්‍යවරයකු ඉන්දියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය බව BBC පුවත් සේවය වාර්තා කරනවා .

එම ගැටුමේදී ඉන්දීය සොල්දාදුවන් 20 දෙනෙකුට සහ චීන සොල්දාදුවන් සිව්දෙනෙකුට ජිවිතය අහිමි වූ බවද මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා

මේ අතර චීනයේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යවරයා විසින් දිල්ලියේ සමුළුව අමතනු ඇති බවත් ජාත්‍යන්තර හා කලාපීය තත්ත්වය මෙන්ම ආරක්ෂක සහ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට අදාළ රටවල නියෝජිත කණ්ඩායම්වල ප්‍රධානීන් හමුවනු ඇති බවත්ය.

මේ අතර චීන ආරක්ෂක අමාත්‍ය Li Shangfu සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර දිල්ලිහිදී ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වීමට ඉඩ ඇති බව එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇති නමුත් රටවල් දෙකම මේ බව නිල වශයෙන් තහවුරු කර නොමැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This