චීන සංචාරය අරඹන ජනපති
සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයේ නිරත වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෙම සංචාරයේදී , චීන ජනපති ෂී ජින් පිං, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හමුවීමට ද නියමිතයි.
එමෙන්ම ජනාධිපතිවරයා තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සහභාගී වීමට නියමිත අතර ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට එක්වීමට ද සැලසුම් කර තිබෙනවා.
මෙම සංචාරය අතරතුර දෙරට අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිත බව සඳහන්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිදුකරන දෙවන විදෙස් රාජ්‍ය සංචාරය මෙය වීම විශේෂත්වයක්.
එබැවින් මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් ලෙස සැලකෙන අතර එමඟින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව වැඩිදියුණු කිරීමට ද බලාපොරොත්තු වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.