චීනය ඇන්ටාක්ටික් ගවේෂණයේ ප්‍රධාන මෙහෙයුම් සම්පූර්ණ කරයි

චීනය ඇන්ටාක්ටික් ගවේෂණයේ ප්‍රධාන මෙහෙයුම් සම්පූර්ණ කරයි

ඇන්ටාක්ටික් කලාපයේ ‍ගවේෂණ කටයුතු සඳහා එක්ව සිටි චීනයේ Xuelong නම් පර්යේෂණ නෞකාව එහි ප්‍රධාන මෙහෙයුම් සාර්ථකව සම්පූර්ණ කර තිබෙනවා.

2024 වසරේ නොවැම්බර් මස 01 වන දින දකුණු චීන මුහුදේ ග්වැංඩොං පළාතේ ගුවන්ෂු අගනුවර සිට ඇන්ටාක්ටික් දක්වා ගමන් ආරම්භ කළ Xuelong නෞකාව නාවික සැතපුම් 27,000 ඉක්ම වූ දුරක් ආවරණය කරමින් ඊයේ (08) දින යළි ශැංහයි වෙත පැමිණ‍ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ ඇන්ටාක්ටික් කලාපයේ දින 159ක ගවේෂණ චාරිකාවක් අවසන් කරමින්.

මෙම ගවේෂණය පිළිබඳ අදහස් දක්වමින් ඊට එක් වූ පර්යේෂණ කණ්ඩා‍යමේ නා‍යක Wang Jinhui මහතා ප්‍රකාශ කළේ, ඇන්ටාක්ටිකාවේ පිහිටි Qinling චීන පර්යේෂණ මධ්‍යස්ථානයේ බලශක්ති ගබඩා පහසුකම් පිළිබඳවත් ඒ ආශ්‍රිතව පිරිසිදු බලශක්ති පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහිත් මෙහිදී විශේෂ අවධානය යොමු කළ බවයි.

එමෙන්ම ඇන්ටාක්ටික් කලාපයේ අයිස් තට්ටු සහ පෙන්ගුයින් පක්ෂීන්ගේ වාසස්ථාන පිළිබඳ දත්ත රැස් කිරීම ඇතුළු සැලකිය යුතු ප්‍රතිඵල අත්කර ගැනීමට මෙහිදී හැකි වූ බව ‍ඔහු පවසා තිබෙනවා.

තවද ඇන්ටාක්ටිකාවේ වේගවත් වෙනස්කම් පිළිබඳ පර්යේෂණ ශක්තිමත් කිරීම සහ ගෝලීය දේශගුණික විපර්යාස සඳහා ඵලදායී ප්‍රතිචාර ලබා ගැනීම ද මෙම ගවේෂණය තුළ මූලික වී ඇති බව සඳහන්.

චීනයේ මූලිකත්වයෙන් සිදු කරන මෙම ගවේෂණ කටයුතු සඳහා රටවල් කිහිපයක් සම්බන්ධ කර ගෙන ඇති බවත් ඒ ඔස්සේ විවිධ ජාත්‍යන්තර පර්යේෂණ හා සහයෝගිතා ව්‍යාපෘතිවල නිරත වන බව ද මෙම පර්යේෂණ කණ්ඩා‍යම පවසනවා.

ඒ අනුව මෙම ගවේෂණය සඳහා ද දේශීය හා ජාත්‍යන්තර ආයතන 118 ක සාමාජිකයින් 516 දෙනෙකු එක්ව ඇති බවත් සඳහන්.

Share This