චීනයේ කොවිඩ් තත්ත්වය ගැන WHO තොරතුරු ඉල්ලයි

චීනයේ කොවිඩ් තත්ත්වය ගැන WHO තොරතුරු ඉල්ලයි

දෛනිකව ආසාදිතයින් වාර්තා වීම වැඩිවීමත් සමඟ චීනය විසින් රට තුළ පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳ කාලීන තොරතුරු ඉදිරිපත් කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

පසුගිය සති කිහිපය තුළ චීනය පනවා තිබු දැඩි සීමාවන් බොහොමයක් ඉවත් කර ඇති අතර දෛනික ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් පවසන්නේ රෝහල්ගතවීම්, දැඩි සත්කාර ඒකක ඇතුළත් කිරීම් සහ මරණ පිළිබඳ දත්ත බැලීමට අවශ්‍ය බවයි.

එමෙන්ම එරට කොවිඩ් රෝගීන් ඉහළ යාම හේතුවෙන් රටවල් කිහිපයක් චීනයෙන් පැමිණෙන සංචාරකයින් සඳහා පරීක්ෂා කිරීම් අනිවාර්ය කිරීමට ද කටයුතු කළා.

ඒ අනුව ඇමෙරිකාව, ස්පාඤ්ඤය, ප්‍රංශය, දකුණු කොරියාව, ඉන්දියාව, ඉතාලිය, ජපානය සහ තායිවානය යන රටවල් චීනයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු වනවා.

එමෙන්ම කොවිඩ්-19 පරිණාමය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික උපදේශක කණ්ඩායම අඟහරුවාදා රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා වෛරස ව්‍යාප්තිය පිළිබඳ සවිස්තරාත්මක දත්ත ඉදිරිපත් කිරීමට චීන විද්‍යාඥයින්ට ආරාධනා කර ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කලා.

Share This