චීනයේ විරෝධතා වාර්තා කිරීමට ගිය විදේශීය මාධ්‍යවේදියෙකුට පහර දීමක්

චීනයේ විරෝධතා වාර්තා කිරීමට ගිය විදේශීය මාධ්‍යවේදියෙකුට පහර දීමක්

එරට රජයට හා දැඩි කොරෝනා මර්ධන රෙගුලාසිවලට එරෙහිව චීන වැසියන් ආරම්භ කර ඇති විරෝධතා මාලාව තවදුරටත් උත්සන්න වී තිබෙන වැව විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් වාර්තා පැවසුවේ ෂැංහයි නුවර දැවැන්ත විරෝධතා මාලාවක් ක්‍රියාත්මක බවයි.

ෂැංහයි නුවර පැවැත්වෙන මහජන විරෝධතා ආවරණය කිරීමට ගිය සිය මාධ්‍යවේදියෙකුට පහර දී ඇතැයි බී බී සී ලෝක පුවත් සේවය වාර්තා කරනවා.

බීබීසී ය පවසන්නේ චීනයේ සිටින Ed Lawrence නමැති මාධ්‍යවේදියාට පහර දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

බලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවයි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් බීබීසී ලෝක පුවත් සේවය පවසන්නේ.

අත්අඩංගුවට ගැනුණු සිය මාධ්‍යවේදියා මුදා හැරිමට පෙර පොලීසිය විසින් ඔහුව පැය කිහිපයක් රඳවා තබා ගෙන ඇති බවත්, එසේ සිදු කර ඇත්තේ ඔහු පිළිගත් මාධ්‍යවේදියෙකු ලෙස සිය ආයතනය නියෝජනය කරමින් රාජකාරියේ යෙදී සිටියදී බවත් බීබීසී ලෝක පුවත් සේවය සඳහන් කළා.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් නිල වශයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කර නොමැති බව ද බීබීසීය පවසනවා.

කෙසේවෙතත් පිරිස අතර සිටිය දී කොවිඩ් ආසාදනය වේ යැයි සිතා මාධ්‍යවේදියාගේ යහපත උදෙසා ඔහුව අත්අඩංගුවට ගත් බව බලධාරීන් පසුව ප්‍රකාශ කළත් එය සෑහීමට පත්විය හැකි කරුණු දැක්වීමක් ලෙස පිළිනොගන්නා බවයි බීබීසී ලෝක පුවත් සේවය පවසන්නේ.

Share This