ජන ජීවිතය “නෝමල්” උතුරු – නැගෙනහිර හර්තාල්

ජන ජීවිතය “නෝමල්” උතුරු – නැගෙනහිර හර්තාල්

වැවක ගිලී තරුණයෙකු මිය යාමේ සිදුවීමක් ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් වව්නියාව ඇතුළු ඇතැම් නගර වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවටයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ජන ජීවිතය සාමාන්‍ය පරිදි සිදුවන ආකාරය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ද අද දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

මුලතිව් ඔඩ්ඩුසුඩාන් හි පිහිටි සිංහ රෙජිමේන්තු හමුදා කඳවුරට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයින් පිරිසක් හමුදා නිළධාරීන් විසින් පළවා හල බවට වන පුවතක් වාර්තා වුණේ ඉකුත් 07 වනදායි.

එහිදී එම හමුදා කඳවුරට ඇතුළුවී පලා යමින් සිටි බවට පැවසෙන තරුණයෙකු මුලතිව් මුතියන්කට්ටු වැවේ ගිලී මියගොස් සිටියදී ඉකුත් 08 වනදා සොයා ගැනීමත් සමඟ එම මරණය සම්බන්ධයෙන් අදාල හමුදා කඳවුරේ නිලධාරීන්ට චෝදනා එල්ල වූණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විශේෂ පොලිස් විමර්ශනකදී ඊට අදාලව හමුදා සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය සදහන් කළා.

කෙසේවෙතත් එලෙස තරුණයෙකු මියයාමේ සිද්ධියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල අද හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ඇතැම් දේශපාලන පක්ෂ මැදිහත් වුණා.

එම හර්තාල් ව්‍යාපාරයට ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ඇතුළු තවත් දේශපාලන පක්ෂ රැසක සහය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

 

Share This