ජනපති AKD ගේ ජන්ම දිනය අද

ජනපති AKD ගේ ජන්ම දිනය අද

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපන්දිනය අදට (24) යෙදී තිබෙනවා.

ඔහුගේ නමේ මුලකුරු වන AKD මගින් පොදුවේ ඔහු හඳුන්වන අතර, අනුර කුමාර මහතා 2024 මෙරට 09 වන ජනාධිපතිවරයා ලෙස පත් වුණා.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල සාමාජිකයෙකු නොවූ මෙරට ජනාධිපති ධූරයට පත් පළමු පුද්ගලයා වන්නේ ඔහුයි.

1968 නොවැම්බර් 24 වන දින මධ්‍යම පළාතේ ගලේවෙල ගම්මානයේ උපත ලැබූ දිසානායක මහතා , 1972 දී තම පවුලේ අය සමඟ උතුරු මැද පළාතේ තඹුත්තේගම ගම්මානයට පැමිණ පදිචි වී තිබෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටියදී, 1987 දී ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කරන විට, ඔහු ශිෂ්‍යයෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය අංශය වන සමාජවාදී ශිෂ්‍ය සංගමයට සම්බන්ධව කටයුතු කර තිබෙනවා.

පසුව, ඔහු කැලණිය විශ්ව විද්‍යාලයට මාරු වී ,1995 දී කැලණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගැනීමෙන් පසු, 1997 දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ලෙස තේරී පත් වුණා.

1997 දී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා 1998 දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට පත් වනවා.

2000 වසරේ දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ඔහු, 2004 දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූණා.

2004 සිට 2005 දක්වා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස ද සේවය කර ඇති දිසානායක මහතා , ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ලෙස පත් වන්නේ 2008 දීයි.

ඔහු පාර්ලිමේන්තුවේ 2010 දී ජාතික ලැයිස්තුව හරහා ඔහු නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන දිසානායක මහතා, 2014 දී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් වනවා.

2015 දී කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වන ඔහු 2015 සිට 2018 දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සේවය කරනවා.

වසර පහක් අඛණ්ඩව පාර්ලිමේන්තුවේ වඩාත්ම ක්‍රියාකාරී මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වන දිසානායක මහතා, 2019 දී ජාතික ජන බලවේගය නිර්මාණය කර (NPP) ආරම්භක නායකයා බවට පත් වනවා.

රටේ පැවති අරගලයට මැදිහත් වෙමින් ආර්ථික අර්බුදයෙන් රට මුදාගෙන නව දේශපාලන ප්‍රවේශයක් නිර්මාණය කිරීමේ අරමුණින් 2024 ජනාධිපතිවරණයෙන් ජනතා ඡන්දයෙන් ජනාධිපතිධූරයට අනුර කුමාර දිසානායක මහතා පත් වන්නේ ජනතා බලාපොරොත්තු දල්වමින්.

චිරං ජයතු ජනාධිපති තුමනි!

Share This