ජනපති අනුරට චීන ජනපතිගෙන් සුබ පැතුම්

ජනපති අනුරට චීන ජනපතිගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් අනුර කුමාර දිසානායක මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

අද (23) චීන ජනපතිවරයා එම සුබ පැතුම් පණිවිඩය යොමු කර ඇති බව සඳහන්.

මෙහිදී චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියන් බව ෂී ජින් පිං මහතා පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම මීට වසර 67 කට පෙර චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට දෙරට සෑම විටම එකිනෙකා අවබෝධ කර ගනිමින් සහයෝගය ලබා දෙමින් මිත්‍රශීලී සහජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවය සඳහා ලොකු කුඩා රටවලට ආදර්ශයක් සපයා ඇති බවද සඳහන්.

චීන ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට තමන් විශාල වැදගත්කමක් ලබා දෙන බවත් සාම්ප්‍රදායික මිත්‍රත්වය පවත්වා ගැනීමට සහ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමට අනුර කුමාර දිසානායක මහතා සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත් චීන ජනපතිවරයා සඳහන් කර තිබෙනවා.

තවද චීනය සහ ශ්‍රී ලංකාව අතර “එක් තීරයක් එක් මාවතක්” උසස් තත්ත්වයේ ඒකාබද්ධව ගොඩනැගීම වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගැනීමටත්, අවංක අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් සහ පාරම්පරික මිත්‍රත්වයකින් යුතු චීනය සහ ශ්‍රී ලංකාව අතර ස්ථාවර හා දිගුකාලීන උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කරමින් දෙරට සඳහා වැඩි ප්‍රතිලාභ ඇති කිරීමටත් අඛණ්ඩව කටයුතු කරන බව ද චීන ජනපතිවරයා ප්‍රකාශ කළ බව සඳහන්.

Share This