
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගේ එක්කෝටි 16 ලක්ෂයකට අධික මුදලක් පුද්ගලික බැංකු ගිණුමක
අල්ලස් චෝදනා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට පත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් රංජන් හියාරේ ගමගේ සැප්තැම්බර් 16 දක්වා යළි රක්ෂිත බන්ධනනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගමගේ මහතා අද (02) නියෝග කළා.
අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් පරීක්ෂක ගාමීණි අබේසිංහ මහතා පැවසුවේ, සැකකරු අල්ලස් ලෙස ලබා ගත් එක්කෝටි 16 ලක්ෂයකට අධික මුදලක් පුද්ගලික බැංකු ගිණුමක තිබී සොයා ගත් බවයි.
එම බැංකු ගිණුම මීට පෙර අවස්ථාවලදී විමර්ශනය කළ බැංකු ගිණුම් තුනට අමතරව මුදල් බැර කර තිබෙන නව ගිණුමක් බව ඔහු පැවසූවා.
මෙම එක්කෝටි 16 ලක්ෂයක මුදල ඔහුගේ රියදුරු වන විජේසිංහ සහ පොලිස් කොස්තාපල්වරයකු වන අසිත නම් පුද්ගලයන් දෙදෙනකු විසින් බැර කර ඇති බවට කරුණු අණාවරණය වී ඇති බව ද විමර්ශන නිළධාරීයා අධිකරණයට දන්වා සිටියා.
ඔහු පැවසූවේ, සැකකරුගේ රියදුරා විසින් අදාල ගිණුමට මුදල් 67 වතාවකුත්, පොලිස් කොස්තාපල්වරයා විසින් අවස්ථා තුනකදීත් මුදල් බැර කර ඇති බවයි.
එමෙන්ම සැකකරුගේ දියණියගේ සහ බිරිඳගේ නමින් ඇති බැංකු ගිණුම් තූළ අල්ලස් ලෙස ලබා ගත් මුදල් තිබෙන බවට විමර්ශන වලදී කරුණු අණාවරණ වි ඇති බව පැවසූ විමර්ශන නිළධාරියා කියා සිටියේ එම බැංකු ගිණුම් සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කර බවයි.
පසුගිය අගෝස්තු 14 වැනිදා විමර්ශනයේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන අනුර නානායක්කාර යන අයව පැහැදිලි හේතුවක් නැතිව අක්මීමන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධව අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදු කරන බව ද විමර්ශන නිළධාරීයා අධිකරණයට පවසා සිටියා.
විමර්ශන නිළධාරීයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරු විසින් සාක්ෂිකරුවන්ට සෘජුව හා වක්‍රව බලපෑම් කර ඇති කළ බවට කරුණු අණාවරණය වන බැවින් හා විමර්ශන තවමත් සිදු වන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයාට එරෙහිව එල්ල කරන චෝදනා සාධාරණ නැති බව ඒ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියා.
සැකකරු අසනීප තත්ත්වයෙන් පසුවන බව පැවසූ නීතීඥවරයා කියා සිටියේ සුදුසු ඇපයක් මත සැකකරු මුදා හරින ලෙසයි.
දෙපාර්ශවයේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප ලබා දීම ප්‍රතික්ශේප කරමින් ඉදිරි දින විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු දක්වන ලෙස අල්ලස් කොමිසමට නියම කලා.