ජාතික දීපවාලී සැමරුම අද හැටන් නගරයේදී (VIDEO)

ජාතික දීපවාලී සැමරුම අද හැටන් නගරයේදී (VIDEO)

හෙටට යෙදෙන දීපවාලී දිනය වෙනුවෙන් සංවිධාන කෙරුණු ජාතික දීපවාලී සැමරුම අද උදෑසන හැටන් නගරයේදී පැවැත්වුණා.

ඒ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්.

අඳුර පරදා ආලෝකය ජය ගැනීම සංකේතවත් කරමින් ලොව පුරා හින්දු භක්තිකයන් මහත් බැතියෙන් සමරන දීපවාලී දිනය හෙටට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් සංවිධාන කෙරුණු ජාතික දීපවාලී සැමරුම අද උදෑසන හැටන් ශ්‍රී මානික්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේදී පැවැත්වුණා.

ඊට බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.

මේ අතර හෙටට යෙදෙන දීපවාලී දිනය වෙනුවෙන් මෙරට හින්දු භක්තිකයන් මහත් උනන්දුවෙන් සූදානම් වන අයුරු දිවයිනේ ප්‍රදේශ රැසකින්ම දැක ගන්නට ලැබුණා.

හැටන් නගරය ආශ්‍රිතවද හින්දු භක්තික ජනතාව තම දීපවාලී සැමරුම් වෙනුවෙන් භාණ්ඩ ආදිය මිලදී ගැනීම සඳහා පැමිණෙන අයුරු දක්නට ලැබුණු අතර ඇතැම් කඩ සාප්පු සංකීර්ණ ජනාකීර්ණ තත්ත්වයට පත්ව තිබුණා.

ඒ වෙනුවෙන් හැටන් පොලිසිය විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබූ අතර එවන් පසුබිමක හඳුන්කූරු විකිණීමේ මුවාවෙන් කාන්තාවන්ගේ ගෙළ බැඳි රන් මාල සොරා ගැනීමට පැමිණි කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැටන් මූලස්ථාන පොලිසිය කටයුතු කර තිබුණා.

Share This