ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ කටයුතුවලට විකල්ප වැඩපිළිවෙළක්

ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ කටයුතුවලට විකල්ප වැඩපිළිවෙළක්

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ යන්ත්‍ර 02 අක්‍රීය තත්ත්වයට පත් වීම හේතුවෙන් රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සදහා රෝහල තුළ විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව එහි වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.ඒ.එල් රණවීර මහතා පවසනවා

ඒ අනුව මෙලෙස බිඳවැටුණු යන්ත්‍ර දෙකම පැරණි විකිරණ පරීක්ෂණ යන්ත්‍ර වන බවත්, ක්‍රියාකාරී තත්ත්වයේ පැවැති හදිසි අනතුරු ඒකකයේ එකම විකිරණ යන්ත්‍රය පසුගිය සදුදා දින අක්‍රීය තත්ත්වයට පත් වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ

අදාළ විකිරණ පරීක්ෂණ යන්ත්‍රය යථාවත් කිරීම සදහා අදාළ සමාගමට මේ වනවිටත් දැනුම් දී ඇති බව සඳහන්

අනෙක් විකිරණ පරීක්ෂණ යන්ත්‍රය මීට පළමුව අක්‍රීය තත්ත්වයට පත් ව ඇති බව ද පැරණි යන්ත්‍රයක් වන එහි අළුත්වැඩියා කටයුතු ද සිදු කරන ලෙස අදාළ සමාගමට දැනුම් දී ඇති බව ද ඔහු කියා සිටියා

විකිරණ පරීක්ෂණ යන්ත්‍ර දෙකම යථාවත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට හා ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයට මේ වනවිටත් දැනුම් දී ඇති බවත්, අදාළ සමාගම් සමග එම යන්ත්‍ර යථාවත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ යන්ත්‍ර මෙලෙස අක්‍රීය තත්ත්වයට පත් වූව ද රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාම සදහා කඩිනමින් විකල්ප ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, ඒ අනුව රෝහල තුළ අනෙකුත් විකිරණ පරීක්ෂණ යන්ත්‍ර භාවිතා කරමින් එම කටයුතු සිදු කරන බව ද කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.ඒ.එල් රණවීර මහතා වැඩිදුරටත් කියා සිටියා

Share This