ට්‍රැක්ටරයකට යටවී මනම්පිටියේ 15 හැවිරිදි දරුවෙක් ජීවිතයෙන් වන්දි ගෙවයි (VIDEO)
දුප්පත්කම යනු දේශපාලන පොරපිටියේ අකුරු කිහිපයක වචනයකට වැඩියමක් නෙවෙයි.
ඒත් සමාජයක් හැටියට අප මුහුණ දෙන බොහොමයක් ගැටලු වලට හේතුව සැඟවී තිබෙන්නේත් මේ ගැඹුරු අර්ථයකින් තේරුම් නොගන්නා ” දුප්පත්” යන අකුරු හතර තුල බව තේරුම් ගන්න විට අපට අහිමි දේ බොහෝමයි.
පොළොන්නරුව ,කදුරුවෙල ප්‍රදේශයේ 15 හැවිරිදි දරුවකු ට්‍රැක්ටරයක් පදවන්නට ගොස් සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට හේතු වූ කාරණා පිටුපස තියෙන්නේත් ඊට සමීප අත්දැකීමක්.
ඊයේ (14) පස්වරුවේ ආර්.පි. අශෙල් යොමාල් නම් වු පහළොස් වියැති දරුවා තමන්ගේ සීයාත් සමග කුඹුරු වැඩට ගොස් ආපසු ඇවිත් තිබෙන්නේ සවස 5 ත් 6 ත් අතරයි.
මෙම දරුවා සීයා සමග එකතු වී කුඹුරු වැඩ කිරීමට දැනට දින තුනකට පමණ ඉහතදී දිඹුලාගල, නාමල් පොකුණ ප්‍රදේශයේ තම සීයාගේ නිවසට පැමිණ තිබෙනවා.
එසේ සීයා සමග කුඹුරු වැඩ කරමින් සිට ඊයේ පස්වරුවේ ට්‍රැක්ටර් රථය පදවාගෙන ගොස් ඇත්තේ මෙම දරුවා විසින්.
එහිදී ඇල මාර්ගයක් අසල කුඹුරු මාර්ගයක යමින් තිබියදී ට්රැක්ටරය පෙරළී දරුවා ඊට යටවී ඇති අතර සීයාද බරපතල තත්ත්වයෙන් තුවාලබා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
පසුව බරපතල තත්ත්වයේ සිටි පහළොස් හැවිරිදි අශෙල් යොමාල්ට ජීවිතය අහිමි වුණා.
ඔහු ඉගෙනුම ලබමින් සිටඇත්තේ පොළොන්නරුව, කදුරුවෙල නගර මහා විද්‍යාලයේයි.
අශෙල් අංක 161, සිංහ උදාගම, නැගෙනහිර, මනම්පිටිය පදිංචිව සිටියා.
ප්‍රදේශවාසීන් එක්ව දරුවා සහ සීයා මනම්පිටිය රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවාගේ සීයා පොළොන්නරුව මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
දරුවන් තිදෙනෙකු ගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවා වූයේ මේ මියගිය අශෙල් යොමාල්.
මෙවනි ඛේදවාචකයකින් පසුව බොහෝ උපදේශනයන් සහ අදහස් පළ වුවද වැඝිටියන් දරුවන්ට පැවරිය යුතු කාර්යන් පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීමද බරපතල ගැටලුවක් බව පෙනෙන කරුණක්.
බොහෝ දෙනා “දුප්පත්කම” යන්න මුදල් නැතිවීම යන තැනට ලඝුකර සිතුවත් සැබෑ දුප්පත්කම යන්න සමාජ සාක්ෂරතාව අහිමිවීම බව තේරුම් ගැනීම ගැඹුරින් සිතිය යුතු බව මේ ඛේදවචකය අපට යලිත් සිහිපත් කරනවා.
