
ඩුබායි සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමෙක් පල්ලෙවෙල දී අල්ලයි
ඩුබායි සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් පල්ලෙවෙල පොලිසියෙන් වටලා තිබෙනවා.
බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත එම නිලධාරීන් සහ පල්ලෙවෙල පොලිසි ස්ථානයේ නිලධාරීන් එක්ව අද දහවල් මෙම මෙහෙයුම සිදුකර තිබෙන්වා.
පල්ලෙවෙල, හිරිවල ප්‍රදේශයේ සැලූනයක් තුළ සිදුකරගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලා මත්ද්‍රව්‍ය, ආයුධ සහ එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සැලූනය පවත්වාගෙන ගිය පුද්ගලයා වන අතර ඔහු කල්එලිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්.
මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් ,හෙරොයින් ග්‍රෑම් 100ක් , විද්‍යුත් මිනුම් උපකරණයක්, සෙල්ලම් පිස්තෝලයක් , විශේෂ හැඩයෙන් යුත් පිහියා කිහිපයක් , බැංකු කාඩ් පත් කිහිපයක්, මුදලින් රුපියල් 46 060 ක්,ජංගම දුරකථන තුනක් සහ ටැබ් පරිගණකයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 75 කට අධික බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ගැමුණු නැමතිි පුද්ගලයෙකු ඩුබාහි සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව පල්ලේවෙල පොලිසිය පැවසුවා.
ගැමුණු නැමති සැකකාර පුද්ගලයා මීරිගම, හාපිටිගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බවත් දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවත් ලංකාව තුළදී ඔහු මත්ද්‍රව ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය කීප වරක්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අයෙකු බවත් පොලිසිය සදහන් කළා.