දකුණු එක්සත් ජනපදයට හිම කුණාටු තත්ත්වයක්

දකුණු එක්සත් ජනපදයට හිම කුණාටු තත්ත්වයක්

දකුණු එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රදේශවලට දැඩිව බලපා ඇති හිම කුණාටුවක් නිසා එරට ගමනාගමනයට බාධා ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ටෙක්සාස්හි විදුලිය ඇණහිටීමට හේතු වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

එක්සත් ජනපද ගුවන් සමාගම් ගුවන් ගමන් 2,300 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර ඩලස් සහ ඔස්ටින්හි ගුවන් තොටුපළවල් වඩාත් බලපෑමට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.

අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගවල රිය අනතුරු බොහෝ ගණනක් වාර්තා වූ අතර අවම වශයෙන් හය දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ටෙක්සාස් හි පමණක්, 340,000 කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇති අතර, ඔස්ටින් නගරයේ සහ ඒ ආසන්න ප්‍රදේශවලද විදුලිය විසන්ධි වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජනපදයේ දකුණු-මධ්‍යම ප්‍රදේශවලට වැසි සහ හිම කැට පතිත වන අතර මිලියන 12 කට අධික ජනතාවක් හිම කුණාටු අනතුරු ඇඟවීම් යටතේ සිටි බවයි පැවසෙන්නේ.

අධික වර්ෂාව හේතුවෙන් ටෙක්සාස්හි ප්‍රදේශ මෙන්ම ලුසියානා සහ උතුරු ජෝර්ජියාවේ ප්‍රදේශවලට හදිසි ගංවතුර ඇතිවිය හැකි බවද වැඩිදුරටත් සඳහන් වනවා.

එරට පොලිස් දෙපාර්තමේන්තු රියදුරන්ගෙන් ඉල්ලා තිබෙන්නේ ප්‍රවේශමෙන් රිය ධාවනය කරන ලෙසයි.

Share This