දකුණු මුහුදේ පාවූ උර 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839 ක් නාවික හමුදාව සොයා ගනී

දකුණු මුහුදේ පාවූ උර 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839 ක් නාවික හමුදාව සොයා ගනී

දකුණු වෙරළට ඔබ්බෙන් වු මුහුදේ පාවෙමින් තිබුණු උර 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ක ප්‍රමාණයක් සොයාගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා.

ඒ අනුව ඒවායෙහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 670ක පමණ ප්‍රමාණයක්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 156ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12ක් සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැලැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදුකරනු ලබන තීව්‍ර මෙහෙයුම් අතරතුරදී ලද විශ්වසනීය තොරතුරකට අනුව ඊයේ පෙරවරුවේ ඔවුන් දකුණු මුහුදේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළා.

එහිදී ගොඩබිම සිට නාවික සැතපුම් 4ත් 6ත් අතර දුරින් පිහිටි මුහුදු ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ක තොගයක් අඩංගු උර 51ක් නාවික හමුදාව භාරයට ගනු ලැබුවා.

එම උර 51 හි අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 670 යි ග්‍රෑම් 676ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 156යි ග්‍රෑම් 542ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12යි ග්‍රෑම් 36ක් එම උර 51හි අඩංගු බවට තහවුරු වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙරට මුහුදු සීමාවේ නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන තීව්‍ර මෙහෙයුම් හේතුවෙන් අදාළ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ ජාවාරම්කරුවන් පිරිස එම මත්ද්‍රව්‍ය තොගය මුහුදේ අතහැර දමා යන්නට ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

දකුණු මුහුදේදී නාවිකා හමුදාව භාරයට ගත් අදාළ මත්ද්‍රව්‍ය තොගය ඊයේ පස්වරුවේ තංගල්ල ධීවර වරායට රැගෙන එනු ලැබුවා.

එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා එක්ව සිටියා.

 

Share This