
දූරියන් ගෙඩියක් රැකගන්න තැබූ වෙඩි පහරකින් තරුණයෙක් මරුට (VIDEO)
මීරිගම සුදු කන්ද ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්වීමෙන් අනතුරුව දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තා.
වෙඩිවැදී මියගිය තරුණයා කඩිනමින් රෝහල් ගතකිරීමට පියවර නොගැනීම මුල්කරගනිමින් ගම්වාසීන් පොලිසියට විරෝධය පළ කිරීමත් සමඟයි එම උණුසුම් තත්ත්වය හටගත්තේ.
මීරිගම සුදු කන්ද ප්‍රදේශයේ පිහිටි දූරියන් ගස් සහිත අක්කර 11ක් පමණ ඉඩමකට තරුණයින් තිදෙනෙකු ඊයේ රාත්‍රියේ ඇතුළුවී තිබුණා.
එහිදී අදාළ වත්තෙහි මුරකරු ලෙස කටයුතු කළ පුද්ගලයා ආරක්‍ෂාවට ලබාදී තිබූ බෝර 12 වර්ගයේ ගිනිඅවියෙන් ඔවුන් දෙසට වෙඩිතැබීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී තරුණයින් දෙදෙනෙකුට වෙඩි වැදී ඇති අතර, 19 හැවිරිදි තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
සිද්ධිය සැලවීමත් සමඟ අදාළ තරුණයින්ගේ ඥාතීන් එම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී පොලිසිය සමඟ උණුසුම් වචන හුවමාරුවකද නිරත වුණා.
දූරියන් ඇහිදීමට යාමේදී අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වත්තෙහි මුරකරු ලෙස කටයුතු කළ පුද්ගලයා මීරිගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.