දෙහිවල වෙඩික්කරු STF වෙඩිපහරින් මරුදකී

දෙහිවල වෙඩික්කරු STF වෙඩිපහරින් මරුදකී

ඉකුත් 18 වනදා දෙහිවල දුම්රියපොළ මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ රැදී සිටි පුද්ගලයකු ඉලක්ක කොට සිදු කළ වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයා කහතුඩුව පාලගම කැබැල්ලෝවිට ප්‍රදේශයේ පාලු ඉඩමක සැගව සිටින බවට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය හා පොලීසිය එක්ව අද (25) අලුයම සිදුකල මෙහෙයුමකදී විශේෂ කාර්ය බලකාය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි කහතුඩුව පොලීසිය පවසනවා.

එම අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු සන්තකයේ තිබූ ටී 56 වර්ගයේ ගිනිඅවියකින් පොලිස්නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති අතර පසුව එහිදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් එල්ල කළ ප්‍රති ප්‍රහාර හමුවේ තුවාල ලබා වෑතර දිසා රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ දෙහිවල කවුඩාන පොකුණ පාරෙහි පදිංචි පෝරගේ දොන් ජීවන් චාමර නමැති (41) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරන්නේ.

මෙම පුද්ගලයා විශේෂ කාර්ය බලකායේ සේවය කර ඇති අතර මත්ද්‍රව්‍ය චෝදනාවක් මත 2011 වසරේදී සේවයෙන් ඉවත් කළ අයෙකි.

මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවකු වන අධිකාරිගේ සමන්ත පෙරේරා නොහොත් චූවා සමන්ත සහ කොස් මල්ලි යන අයගේ පාර්ශවයේ ගෝලයකු බවට ද පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

වැටලීම සිදුවන අවස්ථාවේදී තුවාල ලැබූ විශේෂ කාර්ය බළකා නිලධාරියකු මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්වය සාමානය බවත් පොලීසිය පවසනවා.

 

Share This