නව වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ

නව වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ

09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද(19) නිරිතදිග චීනයේ යුනාන් පළාතේ අගනුවර වන කුන්මිංහිදී ආරම්භ වුණා.

ලබන 24වනදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ මෙවර තේමාව වන්නේ ‘සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමයි.

චීනය හා දකුණු ආසියානු රටවල් අතර මෙම වසරේ පැවැත්වෙන වැදගත්ම ආර්ථික සහ වෙළඳ හුවමාරු වැඩසටහනක් ලෙසයි මෙම ප්‍රදර්ශනය මෙවර පවත්වනු ලබන්නේ.

උසස් නිෂ්පාදන, පිරිසිදු බලශක්තිය සහ නවීන කෘෂිකර්මාන්තය වැනි ප්‍රධාන අංශ කේන්ද්‍ර කර ගත් තේමාවන්ගෙන් ‍යුත් කුටි 11 කින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වනවා.

මෙම වසරේ ප්‍රදර්ශනයේ තේමා රට වන්නේ ශ්‍රී ලංකාවයි.

ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ව්‍යවසායකයින් 100 ක් පමණ මෙවර සහභාගී වී සිටීම විශේෂත්වයක්.

මැණික් සහ ස්වර්ණාභරණ, සිලෝන් ටී, බතික් නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු ආදී නිෂ්පාදන රුසක් ඒ අතරට එක් වනවා.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළඳ අමා‍ත්‍යවරයා ප්‍රමුඛ නියෝජිතයින් රැසක් ද මේ අවස්ථාව වෙනුවෙන් එක් ව සිටිනවා.

අද ආරම්භ වූ චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් චීන ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති Wang Dongming මහතා සඳහන් කළේ, චීනයේ සංවර්ධනය දකුණු ආසියානු රටවල සංවර්ධනය සමඟ වඩාත් සමීපව ඒකාබද්ධ කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි.

 

Share This