න්‍යෂ්ටික බලශක්තියට මාරු වෙන්න ශ්‍රී ලංකාව සූදානම් වෙයි

න්‍යෂ්ටික බලශක්තියට මාරු වෙන්න ශ්‍රී ලංකාව සූදානම් වෙයි

“න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම“ පිළිබඳ සමාලෝචනය අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ මෙහෙයවීමෙන් මේ මස 14 සිට 18 දක්වා සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ඉතා වැදගත් පියවරක් සනිටුහන් කරන බවයි.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා එහි සමාරම්භක දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වනවා.

න්‍යෂ්ටික බලශක්තිය තම රටට හඳුන්වා දීමට උනන්දු ඕනෑම රටක් අදියර 3කට අනුව ක්‍රියාත්මක විය යුතු අතර, එහි මූලික අදියර ලෙස හැඳින්විය හැකි ශක්‍යතා අධ්‍යයනයක්ද අන්තර්ජාතික
පරමාණුක බලශක්ති නියෝජිතායතනය (IAEA) හඳුන්වා දී ඇති නිර්දේශ සම්මත ක්‍රමවේදයට අනුව සිදුකළ යුතු නව බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව, බලශක්ති අමාත්‍යංශය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව ප්‍රමුඛ රජයේ ආයතන රැසක් සහ රාජ්‍ය විශ්ව විද්‍යාලද සම්බන්ධ කර ගනිමින් පසුගිය දශකයක කාලයක් පුරා අන්තර්ජාතික සම්මත ක්‍රමවේදයට අනුකූලව අංශ 19ක් ඔස්සේ එම අධ්‍යයනයන් සිදු කළ බවයි.

2022 දී අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනය (IAEA) විසින් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බල වැඩසටහන සඳහා වන යටිතල පහසුකම් සම්බන්ධ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කර තිබෙනවා.

එහිදී මතුවුණු කරුණු ඉදිරිපත් කළ නිර්දේශ යෝජනා සහ ක්‍රියාමාර්ග අනුව ඉදිරියට ක්‍රියාත්මක වූ එකී ශක්‍යතා අධ්‍යයනය සම්බන්ධ පසු විශ්ලේෂණය ඉහත දිනවලදී අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයෙහි (IAEA) න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂඥ ජොන් හද්දාද් (John Haddad) ප්‍රමුඛ නියෝජිතයින්ගේ සිදු කෙරෙනු ඇති.

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති සැලසුම් හා ක්‍රියාත්මක වීම රටේ දීර්ඝකාලීන බලශක්ති ආරක්ෂාව, පිරිසිදු හා දැරිය හැකි විදුලිබල නිෂ්පාදනය සඳහා ඉතා වැදගත් පියවරක් ලෙස දැක්විය හැකි බවයි බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ.

න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ පාලනය, නියාමනය, ආරක්ෂාව සහ තාක්ෂණික පුහුණුව යන අංශයන්ට විශේෂ අවධානය යොමු කරමින්, ජාත්‍යන්තර සහයෝගිතාව හා දැනුම් හුවමාරුවද මේ සමුළුවේදී සලකා බලනු ඇති.

මෙම සමුළුව තුළ නව තාක්ෂණික ප්‍රවණතා, පාරිසරික හා සමාජ බලපෑම්, ආර්ථික ප්‍රතිලාභ, කාර්ය සාධනය, නීතිමය හා නියාමන පද්ධති, සහ ජනතා විශ්වාසය වර්ධනය කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, මෙය ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ නව යුගයකට පිවිසෙන වැදගත් අවස්ථාවක් වනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

මෙය රටේ බලශක්ති අනාගතය සඳහා තීරණාත්මක මඟපෙන්වීමක් සැපයීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශයේ අදහසයි.

මෙම අවස්ථාව සඳහා අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ නියෝජිතයින් (IAEA),බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා, ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජගත් පිටවල මහතා ඇතුළු ක්ෂේත්‍රයට අදාල විද්වතුන්, ප්‍රවීණයින් රැසක්ද සහභාගී වීමට නියමිතය.

Share This