
නිදහස් දිනයට විදෙස් රටවල් රැසකින් සුබ පැතුම්
77 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් විදේශ රටවල් රැසක නායකයින් කිහිප දෙනෙකු සුබපැතුම් පිරිනමා තිබෙනවා.
එමගින් ශ්‍රී ලංකාව සමග පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ සහයෝගීතාව යළි තහවුරු කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
එක්සත් ජනපදයේ සුබපැතුම එරට රාජ්‍ය ලේකම් මා(ර්)කෝ රූබියෝ විසින් එක්කර තිබුණා.
ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ශක්තිමත් මානව සම්බන්ධතා මත ගොඩනැගුණු දෙරට අතර පවත්නා හවුල්කාරිත්වය දිගුකල් පවතිනු ඇති බවයි එම සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වන්නේ.
එමෙන්ම වෙළෙඳාම, ආයෝජන සහ ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව ද ඔහු අදහස් පළ කර තිබෙනවා.
මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ද නිදහස් දින සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරනු ලැබුවා.
එහිදී දෙරට අතර බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දියාවේ උනන්දුව ඔහු යළිත් තහවුරු කර තිබෙනවා.
මේ අතර චීන ජනාධිපති, චීන අගමැති සහ චීනයේ විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතාගේ නිදහස් දින පණිවුඩය ද විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත පිරිනමා ඇති බව සඳහන්.
ඒ, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය හරහා නිල පණිවුඩයක් යොමු කරමින්.
ද්විපාර්ශ්වික සබඳතා සහ විවිධ අංශ හරහා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා චීනයේ අඛණ්ඩ කැපවීම මෙම පණිවුඩය මගින් අවධාරණය කර තිබෙනවා.
මීට අමතරව ප්‍රංශය, බෙල්ජියම සහ කියුබාව ඇතුළු රටවල් කිහිපයක් ද ශ්‍රී ලංකාවට සුබ පැතුම් පළ කර තිබෙනවා.
එය ශ්‍රී ලංකාව ලොව පුරා දිනා ඇති ශක්තිමත් සහ දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිළිබිඹු කරවන්නක් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ.
ශ්‍රී ලංකා රජය මෙම සුබපැතුම් සඳහා අවංක ප්‍රසාදය පළ කරන අතර සාමය සහ අන්‍යොන්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව සමග අර්ථවත් හවුල්කාරිත්වයන් මුලපිරීමට කැපවී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.