
නීති විරෝධී ගිනි අවි ගැන 1992 ට කියන්න
වනජීවීන් ඇතුළු අලි ඇතුන් ඝාතනය කිරීම සඳහා දඩයක්කරුවන් සහ විවිධ පුද්ගලයන් යොදා ගන්නා නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන වැටලීම් ප්‍රමාණය වැඩි කර තිබෙනවා.
මහජනතාව විසින් ලබාදෙන තොරතුරු අනුව නීති විරෝධී ගිනි අවි වනජීවී නිලධාරී භාරයට ගනු ලබනවා.
ගොවිතැන් කිරීමේ දී තම අස්වැන්න ආරක්ෂා කිරීම සඳහා බඳින කඳන් ඇතුළු මෙරට නිෂ්පාදිත ගිනි අවි යොදා ගනිමින් සතුන් ඝාතනය සිදුවීම සුලභ කරුණක්.
මෙම තත්ත්වය නිසා වනජීවී නිලධාරීන් දෛනිකව සිදු කරන මුර සංචාර ප්‍රමාණය වැඩි කර ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙම වර්ෂයේ මේ වන තෙක් විවිධ පුද්ගලයන් වෙඩි තැබීමට භාවිතා කළ ගිනි අවි 36ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙවැනි නීති විරෝධී ගිනි අවි නිපදවන්නන් ඇතුළු බඳින කඳන් අටවන්නන් පිළිබඳ දන්නේ නම් වනජීවී හදිසි දුරකථන 1992 ට ඇමතුමක් ලබා දෙන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.