නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීමට ශ්‍රී ලංකාව ප්‍රංශයේ සහාය පතයි

නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීමට ශ්‍රී ලංකාව ප්‍රංශයේ සහාය පතයි

නීතිවිරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU) ධීවර කටයුතු මැඩලීම සහ සමුද්‍රීය අධීක්ෂණ හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රංශයේ සහාය ඉල්ලා තිබෙනවා.

මේ පිළිබද සාකච්ඡා ආරම්භ කර ඇත්තේ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් වරයා , ප්‍රංශ තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද නිල සංචාරයක් සඳහා ප්‍රංශයට ගොස්, ප්‍රංශ ජාතික ධීවර අධීක්ෂණ මධ්‍යස්ථානයේ (CNSP) අධ්‍යක්ෂ සහ ඔහුගේ කණ්ඩායම සමඟයි.

මෙහිදී ප්‍රංශයේ ධීවර කටයුතු අධීක්ෂණය සහ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම සඳහා වගකිව යුතු ප්‍රධාන ආයතනය වන CNSP, එහි මෙහෙයුම් ක්‍රියා පටිපාටි පිළිබඳව ශ්‍රී ලංකා දූත පිරිස දැනුවත් කර තිබෙනවා.

විශේෂයෙන්ම, මෙහිදී විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදුකර ඇත්තේ නෞකා අධීක්ෂණ පද්ධතිය (Vessel Monitoring System – VMS) භාවිතය පිළිබඳවයි.

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පුහුණු කිරීම, VMS අධීක්ෂණ කටයුතුවලදී ප්‍රංශයේ අත්දැකීම් බෙදා ගැනීම සහ මෘදුකාංග සහාය ලබා ගැනීම සඳහා ඇති හැකියාවන් පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශ සදහන් කළා.

මෙම සහයෝගීතාවය මගින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව සහ ධීවර කර්මාන්තයේ තිරසාරභාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරෙනවා.

 

Share This