පාකිස්ථානයේ දූෂණ ගැන අමෙරිකාවේ අවධානය

පාකිස්ථානයේ දූෂණ ගැන අමෙරිකාවේ අවධානය

පාකිස්ථානය තුළ සිදුවන මූල්‍ය දූෂණයන් සහ අමෙරිකාවෙන් හිමිවන ගංවතුර සහනාධාරවලින් මුදල් ගසා කෑම් සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳ බැරෑරුම් ලෙස අවධානය යොමු කර ඇතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන බව විදෙස් මාධ්‍ය පවසනවා.

පාකිස්ථානයේ පමණක් නොව අමෙරිකානු මුදල් සම්බන්ධයෙන් මෙවැනි වාර්තා පළ වන ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන් ඉතා බැරෑරුම් ලෙස ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පාකිස්ථානට ලබාදෙන සහනාධාර සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මේ බව සඳහන් කර තිබුණා/

එහිදී ඔහු පැවසුවේ පාකිස්ථානය තුළ ගංවතුරෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ සහ ඒවායේ ජනගහනය පිළිබඳව පුළුල් දැනුමක් ඇති ප්‍රාදේශීය සංවිධාන සමඟ USAID හවුල්කරුවන් කටයුතු කරන බවයි.

එහිදී සහනාධාර බෙදාදීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය, ආරක්ෂක අවශ්‍යතා මෙන්ම එම වැඩසටහන් යාවත්කාලීන කිරීම් අවශ්‍ය බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම අදාළ ක්‍රියාවලියේ පවතින ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස සහන වැඩසහනේ නියෝජිතයින්ට දන්වා ඇති බැවින් පළ වන වාර්තා පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන බව ද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව අමෙරිකාව මෙම වසරේදී පාකිස්ථානය වෙත ගංවතුර සහනාධාර සහ මානුෂීය ආධාර ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 56 යි දශම 5 ක් මුදා හැර තිබෙනවා.

Share This