පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරය ගැන තොරතුරු රැසක් හෙළිවේ

පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරය ගැන තොරතුරු රැසක් හෙළිවේ

පාකිස්ථානයේ කරච්චි විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය අසල දී චීන විද්වතුන් රැගත් වෑන් රථයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වැඩිදුර තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා.

පසුගිය 26 වන දා බලුච් සටන්කාමීන් විසින් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් චීන ජාතිකයන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මියගිය අතර එය චීනයේ මෙන්ම පාකිස්ථානයේ ද කම්පනයට හේතුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

පාකිස්ථානයේ ත්‍රස්තවාදී ප්‍රහාර බොහොමයක් ඇෆ්ගනිස්ථානය පදනම් කරගත් ආගමික කණ්ඩායම් විසින් සිදු කළත් මෙය බලුච් සටන්කාමීන් විසින් සිදුකර තිබීම විශේෂත්වයක්.

පාකිස්ථානයේ විශාලතම පළාතේ නිදහස සඳහා සටන් වදින කණ්ඩායම් කිහිපයෙන් එකක් වන බලුච් විමුක්ති හමුදාව මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම භාර ගත්තේ එය තම සංවිධානයේ කාන්තා සාමාජිකාවකගේ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය බව පවසමින්.

එක් තීරයක් සහ එක් මාවතක් වැඩසටහනේ කොටසක් ලෙස චීනය පාකිස්ථානයේ බලුචිස්තාන පළාතේ දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘතිවල යෙදී සිටින අතර බෙදුම්වාදින් එහි චීන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම බහුලව සිදුවන්නක්.

ප්‍රදේශයේ පතල් කැණීම් සහ බලශක්ති ව්‍යාපෘති චීනයට වාසිදායක ලෙස සිදුවන බව පවසමින් බලුචිස්තාන් බෙදුම්වාදීන් දිගු කලක් තිස්සේ චීනය හා චීන ජාතිකයන් සමඟ අමනාපයෙන් පසුවන අතර, ප්‍රදේශවාසීන් ප්‍රතිලාභ අත් නොවිඳන බවටත් ඔවුන් තමන්ගේ ඉඩම්වලින් ඉවතට තල්ලු කරන බවටත් ඔවුන් චෝදනා කරනවා.

කෙසේවෙතත්, මෙම ප්‍රහාරය බලුචිස්තානයෙන් පිටත කරච්චිහි දී සිදුවීම ගැටුම පළාතෙන් පිටතට ද ව්‍යාප්තවීමක් ලෙසයි විදෙස් විචාරකයන් හදුන්වා ඇත්තේ.

Share This