
පිල්ලෙයාන් සමග කතා කරන්න රනිල් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා විසින් දැනට අත්අඩංගුවේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් සමග කතා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබූ බව සඳහන්.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ සහයකයෙකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දුරකථනයෙන් අමතා අදාළ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.
රැඳවුම් භාරයේ සිටින සැකකරුවෙකු සමග දුරකථනයෙන් හෝ පිටස්තර කිසිවෙකුට අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලබාදිය නොහැකි බව ඔහු සඳහන් කළා.
කෙසේවෙතත් පිල්ලෙයාන්ට අවශ්‍ය නීති උපදෙස් ලබාගැනීමට පමණක් අවස්ථාව හිමිව තිබෙනවා.
ඒ අනුව ඔහුගේ නීතීඥවරයා ලෙස කටයුතු කරන උදය ගම්මන්පිල මහතාට අදාළ අවසරය හිමිව ඇති බවයි ආනන්ද විජේපාල අමාත්‍යවරයා සඳහන් කළේ.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණවලට අදාළව පසුගිය 08 වනදා සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය විසින් අවසර ලබා දුන්නා.