පුත්තලම, අරුවක්කාලු ඉල්මනයිට් කැණීම් කළ කෝටි දෙසිය ගණනක යන්ත්‍ර සූත්‍ර පොලිස් බාරයට

පුත්තලම, අරුවක්කාලු ඉල්මනයිට් කැණීම් කළ කෝටි දෙසිය ගණනක යන්ත්‍ර සූත්‍ර පොලිස් බාරයට

පුරාවිද්‍යා වටිනාකමක් ඇති බව සැලකෙන පුත්තලම, අරුවක්කාඩු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ඉල්මනයිට් කැණීම් සිදුකළ සමාගමේ කෝටි ගණනක යන්ත්‍ර සූත්‍ර පිළිබඳව සහ එහි කටයුතු පිළිබඳව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුත්තලම වනාතවිල්ලුව අරුක්කාඩු ප්‍රදේශයේ ඇති අධි සංවේදී පරිසර පද්ධතියක් හා පුරාවිද්‍යා වටිනාකමක් ඇති බව පැවසෙන භූමි ප්‍රදේශයක නීති විරෝධී ලෙස ඉල්ලමනයිට් කැණීම් සිදුකරන බවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලද තොරතුරක් මත වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් එම ස්ථානය පරීක්ෂා කළා.

එහිදී පෞද්ගලික සමාගමක් විසින් අදාළ භූමියේ කැණීම් කිරීම සඳහා ගෙනවිත් තිබූ රුපියල් කෝටි 200 කට අධික යන්ත්‍ර සූත්‍ර පොලිස් භාරයට ගැනීමටයි කටයුතු කළේ.

මෙම භූමිය පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් බවට සැලකෙන අතර විශාල ඇල මාර්ගයක් ඉදිකර තිබෙනවා.

වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් එස්.එම්. චී නන්දසේන මහතාගෙන් කළ විමසීමකදී 1974 වසරේදී අදාළ ඉඩම ලංකා සිමෙන්ති සමාගමට හුණුගල් ලබාගැනීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය ගැසට් පත්‍රයකින් ලබා දී තිබූ බවයි.

පසුව අදාළ භූමියෙහි ඉල්මනයිට් ඇති බවට හදුනාගත් බවත් ඉල්මනයිට් ලබාගැනීම සඳහා දේශීය සමාගමක් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කළ බවත් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළා.

ඉල්මනයිට් ලබා ගැනීම සඳහා එම පෞද්ගලික සමාගම විසින් ලබා ගත් බලපත්‍රයේ ගැටලුවක් හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුකටයුත්තක්ද පවතින බවයි ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ.

සිද්ධිය පිළිබඳව වළාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

 

Share This