පොලිස් නිලධාරියෙක් සිවිල් පිට නිවිතිගලදී පොලිස් පාට් දමා ගුටි කෙළියක්

පොලිස් නිලධාරියෙක් සිවිල් පිට නිවිතිගලදී පොලිස් පාට් දමා ගුටි කෙළියක්

කොළඹ මරදාන පොලිසියේ රාජකාරී කරන පුද්ගලයෙක් තරුණියකට බැණ වැදී තරුණයෙකුට පහර දෙයි…

කොළඹ ප්‍රදේශයේ පොලිසියක රාජකාරි කරන පොලිස් නිලධාරියෙක් සිවිල් ඇඳුමෙන් සැරසී නිවිතිගල නගරයේ රෙදිකඩයකට ගොඩවී එහි හිමිකාරිය සමඟ බහින්බස්වී පරුෂ වචනයෙන් බැණ වැදී තිබෙනවා.

පසුව එම අසල්වැසි වෙළෙඳසලේ සිටි තරුණයෙකු එම ස්ථානයට පැමිණ පරුෂ වචන නොකියන ලෙසට එම පොලිස් නිලධාරියට පවසා සිටි අවස්ථාවේදී ඔහු සමග ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා.

පසුව මෙම පොලිස් නිලධාරියා පැමිණි යතුරුපැදියෙන් එතනින් පිටත්ව යන අතර නැවතත් තවත් පුද්ගලයකු සමඟ එම ස්ථානයට පැමිණ අස්ල්වැසි වෙළෙඳසලේ තරුණයාව කඩයෙන් එළියට ඇදගෙන විත් පහර දෙන ආකාරය එහි ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබුණා.

එම අවස්ථාවේ ගමේ පිරිසක් මැදිහත් වී සිද්ධිය සමථයකට පත්කර ඇති අතර තුවාල ලැබූ තරුණයා නිවිතිගල පොලිසියට පැමිණිලි කර පසුව රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ දැනට ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකරන නිවිතිගල පොලීසිය පවසන්නේ මෙය පෞද්ගලික ආරවුලක් දුර දිග යාමෙන් සිදුවූවක් බවයි.

දෙපාර්ශ්වයේම දෙදෙනකු මේ වන විට රෝහල් ගතවී ඇති බව නිවිතිගල පොලිසිය පැවසුවා.

මෙම සිද්ධියට මැදිහත් වී ඇති පොලිස් නිලධාරියා නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Share This