පොලිස් වෙස් ගෙන ගල්නෑව නිවසකට පැන්න කල්ලියේ තවත් අයෙක් අල්ලයි

පොලිස් වෙස් ගෙන ගල්නෑව නිවසකට පැන්න කල්ලියේ තවත් අයෙක් අල්ලයි

තමන් වලාන දූෂණ මර්දන ඒකකයේ බව පවසමින් ඉකුත් දා පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිල ඇදුමට සමාන ඇදුමින් සැරසී කිසියම් අපරාධයක් සඳහා ගල්නෑව පත්තිනිගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී තිබූ සංවිධානත්මක අපරාධ කණ්ඩායමට අයත් තවත් සාමාජිකයකු හා සුඛෝපභෝගී වැන් රථයක් ගල්නෑව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල – මාවතගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙක් බවයි.

ගල්නෑව පොලිස් විශේෂ කාර්යංශයේ හා කොට්ඨාස බුද්ධී අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරු අනුව එම සැකකරු හා අදාළ වෑන් රථය මාවතගම ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් 06 වන සැකකරු මොහු වන අතර එම වැන් රථයද එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් භාරයට ගෙන ඇති තුන් වැනි වාහනයද වනවා.

ගල්නෑව පොලිසිය මෙම සිද්ධිය සම්බන්දයෙන් තවදුරටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This