පොලිසියේ ඉහළ පුටුවල තවත් වෙනසක්

පොලිසියේ ඉහළ පුටුවල තවත් වෙනසක්

රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම පත්වීම් ලබා දී ඇති බවයි එම කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ අනුව 2025.02.12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන ලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව සඳහන්.

රාජකාරි ඉටු කිරීම නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ මහතා, බස්නාහිර පළාත (රථ වාහන) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට බස්නාහිර (උතුර) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරිම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුවීම් ලබාදී තිබෙනවා.

එමෙන්ම රාජකාරි ඉටු කිරීම නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.පී. දයාරත්න මහතා, රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට මූල්‍ය අපරාධ විමර්ශන දිසාවේ රාජකාරි ඉටු කිරිම සඳහා මාරුවීම් ලබාදී ඇති බව සඳහන්.

වැඩබලන පොලිස්පතිවරයා විසින් විශේෂ රාජකාරි පදනම යටතේ 2025.02.12 වන දින සිට නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න මහතා, නියෝජ්‍ය පොලිස්පති කෑගල්ල දිසාවට අමතරව රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා ද පත් කිරීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

Share This