පොලීසිය හඳුන්වා දුන් නව ජංගම දුරකථන යෙදවුම
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දී තිබෙනවා..
එම ජංගම දුරකථන යෙදවුම අද (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දීමට පියවර ගෙන තිබුණා.
මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීමට අවස්ථාව හිමි වනවා.
ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk ඔස්සේ E-services වෙත පිවිස e-Traffic ජංගම දුරකථන යෙදවුම ඔබගේ ජංගම දුරකථනය වෙත පහසුවෙන් බාගත කර ගැනීමට හැකියාව පවතින බව සඳහන්.
ඒ මඟින් ඉදිරිපත් වන පැමිණිලි ක්ෂණිකව පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකි බවයි පොලීසිය සඳහන් කළේ.
දිවයිනේ සියලුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි පොලිස් ස්ථාන 607ක රථවාහන නිලධාරීන් රාජකාරි යෙදී සිටින අතර දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට මහජනයාගේ සහාය ලබා ගැනීම මෙම e-Traffic ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීම මඟින් අපේක්ෂා කෙරෙනවා.
මෙම යෙදුමේ ඇති Camera option icon හෝ Vedio option icon භාවිතයෙන් රථවාහන වැරදි සම්බන්ධයෙන් හා මාර්ග ආශ්‍රිතව සිදුවන අනෙකුත් සිදුවීම් සම්බන්ධයෙන් ඡායාරූප සහ වීඩියෝපට මෙම ගිණුම හරහා පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකි බවයි පොලීසිය සඳහන් කර ඇත්තේ.
ලබාදෙන තොරතුරු අනුව රථවාහන වැරදි සිදු කරන රියදුරන් හා අනෙකුත් සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කර ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ පොලිස් ස්ථාන හා පොලිස් අංශ වෙත යොමු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කරනු ලබනවා.
අදාළ විමර්ශන කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද පොලිස් මූලස්ථානය මඟින් අධීක්ෂණය කරනු ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.