බංගලාදේශය බිහි වී වසර 51ක්

බංගලාදේශය බිහි වී වසර 51ක්

බංග්ලාදේශයේ විමුක්තිය සනිටුහන් කරමින් බංග්ලාදේශවාසීන් විසින් ඊයේ(16) ‘විජය දිවාස්’ හෙවත් ජයග්‍රාහී දිනය සමරනු ලැබිණි.

බංග්ලාදේශ විමුක්තිය වෙනුවෙන් පකිස්ථානය ගිවිසුමට අත්සන් කිරීමත්, ඉන්දියාව ජයග්‍රහණය ප්‍රකාශ කිරීමත් සිදුවූයේ ඊට හරියටම පසු වසර 51 කට පෙර දීය.

1947 දී බ්‍රිතාන්‍ය පාලනය අවසන් වීමෙන් පසු ඉන්දියාව බෙදීගොස් ඉන්දියාව සහ පකිස්ථානය යනුවෙන් ස්වාධීන රටවල් දෙකක් පිහිටුවනු ලැබුවා.

එහිදී වත්මන් ඉන්දීය ප්‍රධාන භුමිය තවදුරටත් ඉන්දියාව වශයෙන්ම පැවතුනු අතර, දෙවැන්න සමන්විත වූයේ නැගෙනහිර පකිස්ථානය (දැන් බංග්ලාදේශය) සහ බටහිර පකිස්ථානයෙනුයි (වර්තමාන පකිස්ථානය). මෙම භුමි දෙකටම මුල සිටම විවිධ හේතු නිසා ගැටලු ඇති වුණා.

ඒ අතරින් වඩාත්ම කැපී පෙනෙන ගැටලුව වූයේ ඔවුන් අතර පැවති භූගෝලීය දුරස්ථභාවයයි. නැගෙනහිර පකිස්ථානය පරිපාලනය අතින් බොහෝ විට නොසලකා හරිනු ලැබුවේ, බ්‍රිතාන්‍ය පාලන යුගයේදී භුමිය හා පරිපාලනය පිලිබඳ තීරණ ගත් සියලුම නායකයන් පාහේ බටහිර පාකිස්ථානය නියෝජනය කළ බැවිනුයි.

බටහිර පකිස්ථානයේ භාවිත වන උර්දු භාෂාව, රටේ රාජ්‍ය භාෂාව බවට පත් කළ විට, එය නැගෙනහිර පාකිස්ථාන ජනයාගේ සංස්කෘතිය මත උර්දු බලෙන් පැටවීමක් බවට පත්වුණා.

1960 ගණන්වල මැද භාගයේදී, බංග්ලාදේශයේ නිර්මාතෘ (සහ වත්මන් අගමැතිනි ෂීක් හසීනාගේ පියා) ලෙසද හැඳින්වෙන ෂෙයික් මුජිබර් රහ්මාන් වැනි නායකයන් බටහිර පාකිස්තානයේ මෙම ප්‍රතිපත්තිවලට එරෙහිව ක්‍රියාකාරීව විරෝධය දැක්වීමට පටන් ගත් අතර අවාමි ලීගය වැනි දේශපාලන පක්ෂ ආරම්භ වීමට එම විරෝධාකල්ප බලවේග මුලික වුණා.

වැඩි කල් නොගොස්ම, ඔවුන්ගේ ඉල්ලීම නිදහස සහ වැඩි ස්වයං පාලනයක් සඳහා වූ එකක් බවට පරිවර්තනය වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස,1970 පැවැත්වූ නැගෙනහිර පාකිස්ථාන මැතිවරණයේදී අවමි ලීගය නැගෙනහිර පකිස්ථාන පාර්ලිමේන්තුවේ ආසන 162 න් 160 ක්ම ජයග්‍රහණය කළ අතර, බටහිර පාකිස්ථානය නියෝජනය කළ දේශපාලන කණ්ඩායම් ආසන කිසිවක් දිනා ගත්තේ නැත.

ඊට සමගාමීව බටහිර පකිස්ථානයේ පාර්ලිමේන්තුව වෙනුවෙන් පැවැති මැතිවරණයේදී ආසන 138 න් 81 ක් සුල්ෆිකාර් අලි භූතෝගේ පකිස්ථාන මහජන පක්ෂය දිනා ගත් නමුත් අගමැතිධූරයට පත්වීමට මුජිබර් රහ්මාන්ට සමස්ත පාර්ලිමේන්තුවේ පැහැදිලි සමස්ත බහුතරයක් නිර්මාණය වුණා.

 

බංග්ලාදේශ ලේඛකයකු වන ඩවුඩ් හයිඩර් ද ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ ලියා ඇති පරිදි,මාර්තු 25 මධ්‍යම රාත්‍රියේ පකිස්ථානය බංග්ලාදේශය තුළ කටයුතු අකාල ආකාරය නිසා සරණාගතයෝ ඉන්දියාවට පැමිණ තිබෙනවා. ඉන්දියාව සිය නිදහස් අරගලයේ දී බංග්ලාදේශය වෙනුවෙන් පෙනී සිටි අතර, බංග්ලාදේශයට විමුක්තිය දිනා දීම සඳහා ඉන්දිරා ගාන්ධිගේ මෙන්ම ඉන්දීය හමුදාවේ ද දායකත්වය හිමි වුණා.

ඉන්දියාව මීට පෙර අවාමි ලීගයට සහය පළ කර තිබුණ අතර ඉන්දියාවේ සෘජු මැදිහත්වීමක් නැගෙනහිර පාකිස්ථානය කෙරෙහි නොපැවතුණු නමුත් එම සහයෝගය දෘශ්‍යමාන වුණා.

1971 මැයි 15 දින, ඉන්දියාව විසින් පකිස්ථාන හමුදාවට එරෙහිව ගරිල්ලා සටන්වල නියැලී සිටින මුක්ති බහිනි කණ්ඩායම සමග එක්ව, සටන්කරුවන් බඳවා ගැනීම, පුහුණු කිරීම, සන්නද්ධ කිරීම, ආයුධ සැපයීම සහ උපදෙස් දීම සඳහා ‘ජැක්පොට්’ නමින් මෙහෙයුමක් දියත් කර තිබුණා.

ඊට සමගාමිව රාජ්‍ය තාන්ත්‍රික සැලැස්මක් ද ක්‍රියාත්මක වූ අතර හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන චන්ද්‍රශේඛර් දාස්ගුප්තා 1972 දී බංගලාදේශයේ සේවයේ නියුතුව සිටියා. ඔහුගේ India and the Bangladesh Liberation War: The Definitive Story නම් කෘතියේ මෙසේ ලියා තිබෙනවා.

“විදේශ අමාත්‍යාංශයේ පළමු කාර්යය වූයේ බංග්ලාදේශයට ලැබිය යුතු අනුකම්පාව සහ සහයෝගය ප්‍රවර්ධනය කිරීමයි.ඇත්ත වශයෙන්ම, බංගලිදේශ ජාතිකයන් සිය විමුක්තියේ වෙනුවෙන් සටන් කිරීම ඉතා ඵලදායි ලෙස තමන් විසින්ම කරමින් සිටි නමුත් අපි ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උදව් කළෙමු”

ඉන්දියාවේ දෙවන කාර්යය වූයේ “නැගෙනහිර බෙංගාලයේ ගැටලුව හුදෙක් පකිස්ථානයේ අභ්‍යන්තර ගැටලුවක් නොවන බව අන්තර්ජාතික ප්‍රජාවට පැහැදිලි කිරීමයි.

“විදේශීය ඇස් හමුවේ මෙම ක්‍රියාව පැහැදිලිවම සාධාරණීකරණය නොකර ඉන්දියාව ගැටුමට මැදිහත් වූයේ නම්, එය පකිස්තානය බිඳ දැමීම ඉන්දියාවේ සැලසුමක් බවට වන චෝදනාව අන්තර්ජාතික ප්‍රජාව හමුවේ ස්ථාපිත වනු ඇති අතර, ලොව බහුතර රටවල් විසින් අනාගත බංග්ලාදේශය පිළිගැනීම ප්‍රතික්ෂේප කරනු ඇත” යැයි දාස්ගුප්තා පවසනවා.

අවසානයේ, 1971 දෙසැම්බර් 3 වන දින පකිස්ථාන ගුවන් හමුදාව බටහිර ඉන්දියාව දෙසට (අම්රිත්සාර්, පතන්කොට්, ශ්‍රීනගර්, අවන්තිපුර, අම්බාලා, සිර්සා සහ අග්‍රා ඇතුළුව) ගුවන් ප්‍රහාර දියත් කළ අතර ඉන්දියාව තවදුරටත් නිහඬව නොසිට, නිල වශයෙන් දෙසැම්බර් 04 වන දින යුද්ධ ප්‍රකාශ කළා.

එම අවස්ථාවේ ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි ගුවන්විදුලිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ, “අපගේ රටට යුදමය විසඳුමකට යොමුවීම හැර වෙනත් විකල්පයක් නැත. අපේ අභීත නිලධාරීහු සහ සෙබළු රට ආරක්ෂා කිරීම සඳහා බලමුලු ගැන්වී සුදානමින් සිටිති. මුළු ඉන්දියාවටම හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත. අවශ්‍ය සෑම පියවරක්ම ගනිමින් පවතින අතර, ඕනෑම අවස්ථාවක් වෙනුවෙන් අපි සූදානම්ව සිටිමු.” යනුවෙනුයි.

කෙටි එහෙත් වඩාත් දරුණු වූ යුද්ධය දින 13ක් පුරා නැගෙනහිර හා බටහිර පෙරමුණු දෙකෙහිම පැවතුණා.

දකුණු හමුදාව ක්‍රියාත්මකවූ ප්‍රදේශයේ සිදු වූ කැපී පෙනෙන සටන් අතරට ප්‍රසිද්ධ ලෝංගේවාලා සහ පර්බත් අලි සටන් ඇතුළත් වූ අතර, එහිදී ඉන්දීය හමුදා විසින් පකිස්ථානයේ සන්නද්ධ හමුදා විනාශ කරනු ලැබුවා. ජෝද්පූර් ප්‍රාන්තයේ හිටපු පාලකයා වූ ලුතිනන් කර්නල් භවානි සිංගේ නායකත්වයෙන් යුත් සුප්‍රසිද්ධ 10 පැරා කමාන්ඩෝ බළඇණියේ සෙබළුන් විසින් පකිස්ථානයේ චච්‍රෝ නගරය වැටලීම තවත් ප්‍රසිද්ධ හමුදා ක්‍රියාන්විතයක් බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

මෙම යුද්ධයේ වැදගත් චරිතයක් වූයේ ඉන්දියාවේ ෆීල්ඩ් මාර්ෂල් සෑම් මැනේක්ෂෝ ය. ඔහුගේ සැලසුම් සහ උපාය මාර්ගය නිසා මෑත කාලීන ඉන්දීය හමුදා ඉතිහාසයේ වේගවත්ම ජයග්‍රහණයක් ලබා ගැනීමට එදා උපකාරී වී තිබෙනවා.

දෙසැම්බර් 06 වැනිදා ඉන්දියාව නිල වශයෙන් බංග්ලාදේශය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගත් අතර ඉන් දින දෙකකට පසු ඉන්දීය නාවික හමුදාව කරච්චි නගරයට ප්‍රහාරයක් එල්ල කළා. දෙසැම්බර් 12 සිට 16 දක්වා, ඉන්දියානු හමුදා ඩකා වෙත කෙමෙන් ගමන් කර නගරයට ඇතුළු වූ අතර, යුද්ධය අවසන් කළා.

පකිස්ථාන නැගෙනහිර ආඥාපති ලුතිනන් ජෙනරාල් ඒ.ඒ.කේ. නියාසි ගිවිසුමට අත්සන් කර, ඉන්දීය නැගෙනහිර ආඥාපති ලුතිනන් ජෙනරාල් ජග්ජිත් සිං වෙත භාර දුන් අතර අද බංග්ලාදේශය විසින් වසර 51කට පසුවද, වාර්ෂිකව සමරනු ලබන්නේ මෙම අවස්ථාවයි.

Share This