බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මිනිසත්කමින් දිවි බේරුණු අලුත උපන් නිවුන් දරුවන් දෙදෙනා

බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මිනිසත්කමින් දිවි බේරුණු අලුත උපන් නිවුන් දරුවන් දෙදෙනා

පසුගිය දා බදුල්ල, පස්සර දිසා රෝහලේදී වයස අවුරුදු 28ක ගර්භණී කාන්තාවක් සති 28කින් නිවුන් දරු ප්‍රසූතියක් සිදු කර තිබෙන බව වාර්තා වනවා.

පස්සර දිසා රෝහලේ ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම හේතුවෙන් ,පස්සර රෝහලේ දිසා වෛද්‍ය නිලධාරීවරයා මේ බව බදුල්ල මහ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීවරයාට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව නොමේරූ ළදරු ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයා සහ අනෙක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් දැනුවත් කිරීමට කටයුතු කිරීමෙන් පසුව එහි සේවය කළ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ගිහාන් හෙට්ටිආරච්චි මහතා සිය පෞද්ගලික මෝටර් රථයෙන් මෙම දරුවන් බේරා ගැනීමට අවශ්‍ය සියලු උපකරණ ද සහිතව විනාඩි 20ක් තුළ බදුල්ලේ සිට කිලෝමීටර 28 දුරින් පිහිටා ඇති පස්සර දිසා රෝහල වෙත ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳව  බදුල්ල මහ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ගිහාන් හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ “පස්සර රෝහලේ වෛද්‍ය චානකට සති 28ක නිවුන් දරුවන් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් ඇවිල්ලා ඉදලා. ඒ වෙනකොට ත් බබාලා ඩිලිවර් කරන්න පොඩි වෙලාවක් තමයි තිබිලා තියෙන්නේ. බදුල්ල හොස්පිටල් එකට එවන්න වෙලා මදි. ඒහොස්පිටල් එකේ ඩොක්ටර්ස්ලා බබාලා ඩිලිවර් කරලා අරගෙන. ඒගොල්ලන්ගේ හොස්පිටල් එකේ පහසුකම් නෑ නිවුන් දරු උපතක් සිදු කරන්න. එහෙම කරොත් වීදුරු පෙට්ටියක දාලා බබාලට රස්නෙ හොඳට දෙන්න ඕනේ.

මට ඒ අම්මාව බලපු ඩොක්ටර් චානක සහ අපේ වාට්ටුවේ ඩොක්ටර් චමිල කතා කරලා කිවුවා මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒ මොහොතෙම මට දරුවන්ගේ ජීවිත අවදානම් කියලා මට තේරුනා. දරුවන් දෙදෙනාට අවශ්‍ය ශ්වසන උපකරණ සහ වීදුරු පෙට්ටිත් අරන් මම පස්සර හොස්පිටල් එකට යන්න ඇම්බියුලන්ස් එකක් බැලුවා.

ඇම්බියුලන්ස් එක ඒ වෙන්කොට වෙන රාජකාරියක් සඳහා ගිහිල්ලා. ඊට පස්සේ මම බඩු ඔක්කොම මගේ කාර් එකට දාගෙන කාර් එකෙන් විනාඩි 20ක් වගේ පොඩි කාලයකින් පස්සර හොස්පිටල් එකට ගිහින් දරුවන් දෙදෙනාට මැෂින් එක සවි කළා.

ඊට පස්සේ බදුල්ල හොස්පිටල් එකෙන් පහසුකම් සහිත ඇම්බියුලන්ස් එකෙන් මගේ හිතවත් වෛද්‍ය උදාර සහ වෛද්‍ය තුසිත ඇතුළු හෙද කාර්ය මණ්ඩලයක් ඉක්මනින් පස්සර හොස්පිටල් එකට ආවා.

මම තව විනාඩි 20ක් පරක්කු වුණා නම් බබාලා දෙන්නගේ ම ජීවිත බේරා ගන්න බැරි වෙනවා.

මේ සියල්ල පසු පස සිට අවශ්‍ය උපදෙස් ලබා දීපු විශේෂඥ වෛද්‍ය චාමින්ද ලියනගේ, සේනක ගුණතිලක යන නිලධාරීන් සහ වෛද්‍ය පාලිත රාජපක්ෂ, වෛද්‍ය චමිල රත්නායක ඔක්කෝගෙම උදව්ව නිසා දරුවන් දෙදෙනාගේ ජීවිතය සහ අම්මාගේ ජීවිතය බේර ගන්න පුලුවන් වුණා.”

දරුවන් සහ මව බදුල්ල මහ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඔවුන් නිරෝගීව සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

Share This